මුතුන්මිත්තන් අනුගමනය කිරීම

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අප සමාජය තුල ආගම දහම නමින් විවිධ වූ සම්ප්‍රදායන් ගොඩනඟාගෙන ඒවාද ආගම බව පවසමින් කටයුතු කිරීම නිරන්තරයෙන් දකින්නෙමු. එසේම එවැනි කටයුතු ඔබලා කරන දෑ ආගම දහමට පරස්පරයි, මෙවැනි මඟපෙන්වීම් ආගම දහම තුල නොමැත යනුවෙන් එවැනි පිරිසට අවවාද අනුශාසනා කරන පිරිසද සමාජය තුල දකින්නෙමු. මෙසේ ඉහත පිරිසට අවවාද අනුශාසනා කරන විට එවැනි ක්‍රියාවල නියැලෙන පිරිස් පවසන ජනප්‍රිය තර්කය වන්නේ අපි අපගේ මුතුන්මිත්තන් අනුගමනය කරන්නෙමු යන්නයි. මෙසේ ඔවුන් තබන තර්කයත් හමුවේ ප්‍රතිතර්ක නොමැතිව බොහෝ පිරිස් නිහඬවයද්දී දිව්‍ය පුස්තකය වන අල්කුර්ආනය එවැනි තර්කයන් හමුවේ නිහඬවීමට සූදානම් නැත. ඔවුන් සම්බන්ධයෙන් නිහඬවීමට සූදානම් නැතුවා පමණක් නොවේ. එවැනි පිරිස් ඉතා පහත් උපමාවකින් අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ ආමන්ත්‍රණය කරයි. ඒ ඔවුන් “ගවරැලකට” උපමා කරමිනි.

එය මෙසේය...

අල්ලාහ් පහළ කළ දෑ (දේව පණිවුඩ) පිළිපදින්නැයි ඔවුනට කී කල්හි, “නැත අප අනුගමනය කරන්නේ අපේ මුතුන් මිත්තන් පුරුදු පුහුණු කළ දේ පමණකැයි” ඔවුහු කියති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිම අවබෝධයකින් තොරව හා යහමග ලැබීමකින් තොරව සිටියද. (ඔවුහු, ඔවුන් අනුගමනය කළ යුත්තෙහිද?)
(අල්ලාහ්ගේ මාර්ගය) ප්‍රතික්ෂේප කළ අයගේ (මානසික තත්ත්වයට) උපමාවක් නම් (එඬේරා තමන්ට හඬ ගසද්දීත්) කෑගැසීමකට එහා කිසිවක් නොතේරෙන ගවරැළකට සමානය. (ඔවුහු) අන්ධය, ගොළුය, බිහිරිය, එබැවින් ඔවුනට (කිසිවක්) අවබෝධ නොවේ.

අල්කුර්ආනය 2-170 සහ 171

දේව වක්තෘවරුන් මඟින් මිනිස් සමාජයට පැහැදිලි මඟපෙන්වීමක් ලබාදී තිබියදී ඒ සියල්ල හෝ එහි යම් යම් කොටස් නොසලකා හැර “අපි අපගේ (අම්මා- තාත්තා, මුත්තා, මී මුත්තා... යනාදී) මුතුන්මිත්තන් පුරුදු පුහුණු කල දේ පමණක් අනුගමනය කරන්නෙමු” යැයි පැවසීම සහ ඔවුන්ගේ එම මාර්ග අනුගමනය කිරීම එඬේරාගේ භාෂාව නොතේරෙන “ගවරැලක්” මෙන් බව ඉහතින් අල්කුර්ආනය පවසයි. එපමණක් නොව ඔවුන් “ගවරැලකට” උපමා කිරීමෙන් නතර නොවන අල්කුර්ආනය යහමග ප්‍රතික්ෂේප කොට මුතුන්මිත්තන්ගේ සම්ප්‍රදායන් පසුපස යන ඔවුන් “අන්ධයි”, “ගොළුයි” සහ “බිහිරියි” යනුවෙන් තවදුරටත් පවසයි.

මේ ආකාරයට "මුතුන්මිත්තන්", "සම්ප්‍රදායන්" යයි පවසමින් පටු සීමාවක ඉස්ලාම් දහම කොටු කොට සමස්ථ මුස්ලීම් සමාජයම නොමඟ යවන්න කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් යහමග අඩවිය මීට ඉහත ද අවස්ථා ගණනාවක කථා කොට ඇත. එවැනි ලිපි කිහිපයක් ඔබේ අවදානයට මෙහි පහතින් පෙලගසන්නේ නම්,

ඉහත ලිපි ද ඔබේ බුද්ධිමත් අවදානයට තබමින් අන්ධයන්, ගොළුවන් සහ බිහිරන් ලෙස තම "මුතුන්මිත්තන්" පසුපස යන පිරිසට අල්ලාහ් (දෙවි) පවසන තවත් අවවාදයක් මෙහි පහතින් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි. එනම්,

“අල්ලාහ් පහළ කළ (ධර්මය) අනුගමනය කරනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් එයට ඔවුන් “නොඑසේය! අප අපගේ මුතුන් මිත්තන් කුමක් කෙරෙහි සිටියෝදැයි අපි දුටුවෙමුද, එයම අනුගමනය කරන්නෙමු” යයි පවසන්නාහ. (කිමෙක්ද!) ඔවුන් (මුතුන් මිත්තන්)ව ෂෙයිතාන් දළු ලා දැවෙන දඬුවම (අපාය) දෙසට ආරාධනා කර, (ඔවුන්ද ගොස්) සිටියා වුවද, (මොවුන් ඔවුන්ව අනුගමනය කර යන්නෙහුද)?

අල්කුර්ආනය 31-21

ඉහත අල්කුර්ආන් වාක්‍යයන් දෙක පවසන ආකාරයට, තම මුතුන්මිත්තන් අනුගමනය කරන බව පවසමින් ඉස්ලාමීය මඟපෙන්වීම ප්‍රතික්ෂේප කොට නොමඟ ගිය මුතුන්මිත්තන්ගේ සම්ප්‍රදායන් පසුපස යන ඔබ තේරුම් ගතයුතු කාරණයක් හා තීන්දු කලයුතු කාරණයක් ඇත. එනම්,

  • “සමස්ථ මිනිස් සමාජයම නොමඟ යවන බවට අල්ලාහ් (දෙවි) ඉදිරියේ අභියෝග කොට පැමිණි ශෙයිතාන්ගේ” කුමන්ත්‍රනයට හසු වී “සම්ප්‍රදායන්” හා “මුතුන්මිත්තන්” යැයි නිරය ගින්න දෙසට යනවාද?
  • නොඑසේනම්, පිවිතුරු දහම කුමක්ද? එහි මඟපෙන්වීම කුමක්ද? යන්න එහි ඉගෙන්වීමන් තුලින් අවබෝධ කොට යහමග යනවාද?

එම තීරණාත්මක තීන්දුව ඔබට ම බාර කරමින් මෙම ලිපියට විරාමය තබන්නේ මේ සම්බන්ධයෙන් වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ අවවාදාත්මක මුතු වදනක් ඔබේ බුද්ධිමත් විමසුමට තබමිනි. එනම්,

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පැවසූහ, "මැවුම්කරු (වූ අල්ලාහ් (දෙවි)ට අකීකරු වී, ඔහුගේ මැවීමකට කීකරු නොවන්න."

මූලාශ්‍ර ග්‍රන්ථය - තිර්මිදි

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/25

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම