යක්ෂයාගේ මිල සහ අවංකභාවය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“අවංකභාවය“ මෙය වත්මන් සමාජයේ සෑම සියළුදෙනාගේම ඉහලම බලාපොරොත්තුව වේ. එම බලාපොරොත්තුවේ තරමම සමාජයේ එහි ඇති විරල බව මනාව කියාපායි. අද “අවංකත්වය“ යන්න සමාජය තුල හුදෙක් සුන්දර වචනයන්ට පමණක් සීමා වූ කාරණයක් වී ඇත. සමාජයේ සෑම පුරවැසියෙකුම තම අවට පරිසරය තුලින් මෙම “අවංකත්වය“ ඉහලින් අපේක්ෂා කරයි. එනම් මිතුරන් තම මිතුදම තුලින්ද, අඹුසැමියන් තම පවුල් දිවිය තුලින්ද, ඥාති හිතමිතුරන් තම හිතවත්කම් තුලින්ද, නායකයින් හා පාලකයන් තම මෙහෙවර තුලින්ද අවංක වියයුතු යන්න අපේක්ෂා කරයි. නමුත් සියල්ල රුපියල් ශතවලින් තීන්දු කරන වත්මන් සමාජ රටාව තුල මෙම “අවංකභාවය“ යන්න තවත් හිස් වදනක් යන තත්වයට පත්වී ඇත. මෙවන් සමාජ පසුබිමක “අවංකභාවය“ සහ එම අවංකභාවයේ සීමාව තීන්දු කරන ප්‍රධාන සාධකයක් වන “යක්ෂයාගේ මිල (Devil's Price)“ යන්න පිලිබදව මෙම යහමග අඩවිය තුලින් අද විමසා බැලීමට අදහස් කරමි.

යක්ෂයාගේ මිල

මාතෘකාවට යොමු වීමට ප්‍රථම මෙහි පැහැදිලි කර ගතයුතු කාරණයක් ඇතැයි සිතමි. ඒ මොකක්ද මේ “යක්ෂයාගේ මිල (Devil's Price)“ යන්නයි. මෙම කාරණය එනම්, “යක්ෂයාගේ මිල (Devil's Price)“ යන්න නූතන ලෝකය තුල නිතර කථා බහට ලක්වන ලෝකයාට අලුත් මාතෘකාවක් නොවේ. නමුත් මුස්ලීම් ලෝකය තුල මෙය වැඩිය කථාබහට ලක් නොවූ මාතෘකාවක් යන්න මාගේ හැඟීමයි. ඒ අනුව “යක්ෂයාගේ මිල (Devil's Price)“ යනු කුමක්ද?“ යන්න මෙහි ඔබට සරලව පැහැදිලි කරන්නේ නම්,

“පුද්ගලයෙකු තම අසරණකම, දුප්පත්කම, අවශ්‍යතාවයන් හෝ වෙනත් අපේක්ෂිත ඉලක්කයක් සපුරාගැනිම පිණිස තම ආත්මය, අවංකභාවය හෝ පුද්ගලිකත්වය යන සියල්ල පාවාදෙමින් එසේම ආගමික හා සමාජ නීති-රීති සියල්ල බිඳදමමින් කිසියම් මිලකට යටපත් වීම“ යක්ෂයාගේ මිලට යටපත් වීම ලෙසත්, එසේ යටපත් වන මිල “යක්ෂයාගේ මිල“ ලෙසත් හැදින්වේ. 

මෙය සරල නිදසුනක් තුලින් තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, කිසියම් කෙනෙකු තම රාජකාරිය තුල නීතියට පටහැනිව යමක් ඉටු කරදීමට අල්ලසක් ලෙස රුපියල් 100 ක් ගන්නවා යැයි සිතන්න. එවිට ඔහුගේ “යක්ෂයාගේ මිල (Devil's Price)“ රුපියල් 100 කි. නමුත් කෙනෙකු 100 ට තම ආත්මය පාවා නොදෙනවා වන්නට පුළුවන නමුත් ඔහු රුපියල් ලක්ෂයක දී, නොඑසේ නම් රුපියල් මිලියනයක දී, නොඑසේ නම් රුපියල් බිලියනයක දී, නොඑසේ නම් ඊටත් වඩා විශාල මුදලක දී එසේත් නැත්නම් වෙනත් පරිත්‍යාගයක දී එයට යටපත් වේ නම්, ඔහුට නියමිත “යක්ෂයාගේ මිල (Devil's Price)“ එම මොහොතේ ඔහු යටපත් වන අගය මත තීරණය වේ. මේ අනුව අප සමාජයේ “මම අවංකයි“ යැයි පවසන බොහෝ පිරිසකගේ අවංකභාවයට වඩා එතැන ඇත්තේ “යක්ෂයාගේ මිල (Devil's Price)“ ඉහල අගයක පැවතීමයි. මේ අනුව වත්මන් ලෝකය තුල රාජ්‍ය පාලනයේ පටන් සාමාන්‍ය තනිපුද්ගලයෙතු දක්වා සියල්ල තීන්දු වන්නේ ඔවුන්ගේ “අවශ්‍යතාවයන් සහ ‘යක්ෂයාගේ මිල (Devil's Price)‘ අනුවය.

මෙතැනදී “යක්ෂයාගේ මිල (Devil's Price)“ යනු රුපියල් ශතවලට පමණක් සීමා වූ අල්ලස් ගැනීම වැනි තත්වයක් ලෙස ඔබ වරදවා තේරුම් නොගතයුතුය. කිසියම් ලෞකික ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් සහ සැප සම්පත් කෙරෙහි කෑදර වී තවත් කෙනෙකුට වාසි සහගත වන අයුරින් නීතිය/බලය ක්‍රියාත්මක නොකිරීම, විඳ දරා ගැනීම, නොදැක්කා සේ සිටීම, කෙනෙකුට වාසි සහගත වන ලෙස කටයුතු කිරීම, නීතිය හෝ සමාජය නොමඟ යැවීම... යනාදී ලෙස තම හදවතට අවංක නොවී පුද්ගලික වාසි අපේක්ෂාවෙන් සදාචාර විරෝධීව කටයුතු කරන සෑම කටයුත්තක් තුලම මෙම “යක්ෂයාගේ මිල (Devil's Price)“ යන සංකල්පය අන්තර්ගත බව තේරුම් ගතයුතුය. මේ අනුව “අවංකභාවය“ ඇති තැන “යක්ෂයාගේ මිලක්“ නොපවතින බවත්, “යක්ෂයාගේ මිල“ පවතින තැනක “අවංකභාවයක්“ නොපවතින බවත් මෙහි තේරුම් ගතයුතුය. එසේනම්, මනුෂ්‍යත්වය විනාශ කරන “යක්ෂයාගේ මිලට“ යටපත් නොවන සැබෑ අවංකත්වය පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න දැන් මෙතැන් සිට විමසා බලමු.

අවංකභාවය

සමාජයක අවංකභාවය පැවතීමේ අවශ්‍යතාවය සහ එසේ නොවන තැනක එම සමාජයට අත් වන ඉරණම කුමක්ද? යන්න මෙම යහමග අඩවිය මීට ඉහත අවංක හා සාධාර්ණ නොවන සමාජයක ඉරණම යන ලිපිය තුලින් ද කරුණු සාකච්චා කොට ඇත. එහි තවත් දිගුවක් ලෙස “අවංකභාවය“ යනු කුමක්ද? යන්න පහත අල්හදීසය තුලින් තවදුරටත් තේරුම් ගන්නට උත්සාහ කරමු.

වරක් නබිතුමාණන් "ඉස්ලාම් යනු ‘අවංකභාවය‘ (නසීහා)“ යැයි පවසන ලදී. එවිට කෙනෙකු "නබිතුමණි, කාට අවංකවීමද?" යැයි විමසන ලදී. එයට නබිතුමාණන්   “අල්ලාහ්ට, ඔහුගේ ග්‍රන්ථයට, ඔහුගේ දූතයාට, මුස්ලිම්වරුන්ගේ නායකයින්ට සහ ජනයාට” යැයි පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලිම්

ඉහත අල්හදීසය බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, “ඉස්ලාම්“ යන්නම අවංකභාවය ආරක්ෂා කරමින් කටයුතු කරන දහමක් බවත්, මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟපෙන්වීම අනුව මුළු ඉස්ලාම් දහමම “අවංකභාවය“ යන සංකල්පය තුළ ගොඩනැඟී ඇති බවත්, දහමේ ප්‍රධාන කුළුණම අවංකභාවය බවත් පැහැදිලි වේ. මෙම අවංකභාවය මුස්ලීම්වරයෙකු තුල කවර ආකාරයට පැවතිය යුතුද යන්න ඉහත හදීසයේ සදහන් කණ්ඩායම් පහත මූලික කරගෙන තවදුරටත් විමසා බලන්නේ නම්,

අල්ලාහ් (දෙවි)ට අවංකවීම

අල්ලාහ් (දෙවි)ට අවංක වීම යන්නෙන් අදහස් කරන්නේ අප අල්ලාහ් (දෙවි) කෙරෙහි පූර්ණ විශ්වාසය තබා, ඔහුට කිසිවක් හෝ කිසිවෙක් සම (ශිර්ක්) නොකොට කටයුතු කිරීමයි. ඒ තුලින් අල්ලාහ් (දෙවි) කෙරෙහි ඇති අපගේ සිතුවිල්ල පවිත්‍ර කර ගැනීමටත්, ඔහු සමඟ ඇති අපගේ සම්බන්ධතාවය ශක්තිමත් හා අවංක කර ගැනීමටත් හැකි වේ.

අල්ලාහ් (දෙවි)ගේ පුස්තකයට අවංකවීම

අල්ලාහ් (දෙවි)ගේ පුස්තකයට නොහොත් ග්‍රන්ථයට අවංකවීම යන්නෙන් අදහස් කරන්නේ අල්කුර්ආනය අල්ලාහ්ගේ වඳන්ම බවත්, එය දේව එළිදරව්වක් ලෙස පහළ වූ බවත්, අල්ලාහ්ගේ වඳන් සහ මනුෂ්‍යගේ වඳන් අතර කිසිදු සමානකමක් නොමැති බවත් පූර්න ලෙස විශ්වාස කිරීමයි. අල්කුර්ආනය සමඟ අපගේ සම්බන්ධතාවයේ නිර්මල හා අවංක වීමට නම්, අල්කුර්ආනයට අප උපරිම ගෞරවය දැක්වීම අවශ්‍ය වේ. මෙම ග්‍රන්ථයේ අණපනත් ක්‍රියාවට නංවමින් සහ එහි තහනම් කොට ඇති දෑ වලින් ඈත් වෙමින් එහි අන්තර්ගතයට ගරු කරමින් අප ක්‍රියා කළ යුතුයි. මීට අමතරව අල්කුර්ආනය අන් අයට පැහැදිලි කිරීම, අල්කුර්ආනය අලංකාරව පාරායනය, එය ගැඹුරින් අධ්‍යනය කිරීමට උත්සාහ කිරීම සහ අල්කුර්ආනයට එරෙහිව නැඟෙන චෝදනා සහ විවේචන සදහ නිසි පැහැදිලි කිරීම් ලබාදීම... යනාදීය අල්ලාහ්ගේ ග්‍රන්ථයට අවංකවීම වේ.

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන්ට අවංකවීම

මුහම්මද් (සල්) තුමාණන්ට අවංකවීම යනු, එතුමාණන්ගේ චරිතය නිවැරදිව හදුනාගෙන එතුමාණන්මගේ ආදර්ශයන් හා මඟපෙන්වීමන් අපගේ ජීවිතයේ පරමාදර්ශය ලෙස ගෙන අපගේ දෛනික ජීවිතය ඒ අනුව සකසා ගැනීම සහ අන් සියල්ලටම වඩා නබිවරයාට ආදරය කිරීම එතුමාණන්ට අවංකවීම වේ. මීට අමතරව නබි (සල්) තුමාණන්ට අවනත වීම, ඔහු කෙරෙහි සතුරුකම් ඇති අයව ප්‍රතික්ෂේප කිරීම, ඔහුට පක්ෂපාතී වූවන්ට පක්ෂපාතී වීම, ඔහුට ගෞරව කිරීම, ඔහුගේ හැසිරීම් සහ සුන්නාව පිලිපැදීම... යනාදීය ද අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන්ට අවංකවීම වේ.

මුස්ලිම්වරුන්ගේ නායකයින්ට අවංකවීම

මුස්ලිම්වරුන්ගේ නායකයින්ට අවංකවීම යනු, අල්ලාහ් (දෙවි) ඔවුන්ට මඟ පෙන්වන බවත්, ඔවුන්ව ආරක්ෂා කරන බවත්, ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට ඔවුන්ට හැකි බවත් විශ්වාස කිරීම වේ. ඔවුන්ගේ යහපත් නායකත්වය උදෙසා අප ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කලයුතු අතර ඔවුන් වැරදි කරන අවස්ථාවල දී එය නිවැරදි කිරීමට කටයුතු කිරීම ද ඔවුනට අවංකවීම වේ.

මුස්ලිම් ජනතාවට අවංකවීම

පොදුවේ මුස්ලිම්වරුන්ට අවංකවීම යනු, මුස්ලීම් සමාජය යහමග යොමු කිරීම පිණිස කටයුතු කිරීම, මෙලොව සහ මතු ජීවිතය යන දෙඅංශයේම යහපතට කටයුතු කිරීම, ඔවුන්ව අනතුරෙන් ආරක්ෂා කිරීම, අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ට උපකාර කිරීම, ඔවුන්ට ප්‍රයෝජනවත් දේ ලබා දීම, යහපත දෑ කිරීමට ඔවුන් දිරිමත් කිරීම සහ නරක දෑ වලින් ඔවුන්ව වළකාලීම... යනාදීය මුස්ලීම් ජනයාට අවංකවීම වේ.

ඉහත හදීසය තුලින් අවදාරණය කරන ආකාරයට අප අල්ලාහ් (දෙවි)ට අවංකවී, අල්ලාහ් (දෙවි)ගේ පුස්තකයට අවංකවී, අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන්ට අවංකවී, මුස්ලිම්වරුන්ගේ නායකයින්ට අවංකවී සහ සමස්ථ මුස්ලිම් ජනතාවට අවංකවී අපගේ කටයුතු සකසා ගන්නා විට අපි ආගමිකව යහමග යොමු වූ පිරිසක් වන අතර ලෞකිකව ද යහපත් මිනිසුන් වන්නෙමු. එපමණක් නොව “යක්ෂයාගේ මිලෙන් (Devil's Price)“ ආරක්ෂා වූ පුරවැසියන් ද වන්නෙමු. එසේනම්, සියල්ල රුපියල් ශතවලින් තීන්දු කරන නූතන සමාජ රටාව තුල “යක්ෂයාගේ මිල“ ට ඉස්ලාම් දහම තුල කිසිදු ඉඩක් නොමැත යන්නත්, යක්ෂයාගේ මිලට යටහත් වූ කිසිවෙක් සැබෑ මුස්ලීම්වරයෙකු නොවේ යන්නත් මෙහි දැඩිව අවදාරණය කරමින් මෙම සටහනට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම