තරුණ තරුණියන් සිහින ලොවක අතරමං කරන Network Marketing මුලාව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනක අහඹූ ලෙස එක්තරා වැඩමුළුවකට සහභාගි වීමට මට අවස්ථාවක් ලැබුණි. ඒ නූතන ව්‍යාපාර ලෝකයේ නවතම ව්‍යාපාර උපක්‍රමයක් පිලිබදව කරන දැනුවත් කිරීමේ හා සාමාජිකයන් බදවා ගැනීමේ වැඩමුළුවකටය. විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩමුළුවට සහභාගි වූ පිරිස් අතර තරුණ තරුණියන් අති බහුතරයක් විය. ඒ අතුරින් ද මුස්ලීම් තරුණ තරුණියන් සැලකිය යුතු තරම් පිරිසක් සහභාගි වී සිටීම මවිතයට මෙන්ම මෙවැනි ලිපියක් ලිවීමට ද මූලික හේතුවක් විය. ඒ අනුව එම වැඩමුළුවේ සාකච්චා කල කරුණූ පදනම් කරගෙන,

  • මෙම ව්‍යාපාරික උපක්‍රමය පිලිබදව රටේ නීතිය කුමක්ද? යන්නත්,
  • එය කොතරම් සාධාර්ණ වූ ව්‍යාපාර ක්‍රමයක්ද? යන්නත්,
  • අවසානයේ එම ව්‍යාපාර ක්‍රමය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක් ද? යන්නත්

මෙම ලිපිය තුලින් විමසා බැලීමට අදහස් කලෙමි.

යහමග අඩවිය මීට වසර කිහිපයකට ඉහත මෙවැනි ව්‍යාපාර ක්‍රමයක් පිලිබදව ‘ව්‍යාපාරයක් තුල රුකිය යුතුම ගුණාංග‘ නම් මාතෘකාව යටතේ කථා කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. එහිදී සඳුන් වගා, අඹ වගා, තේක්ක වගා… ඉඩම් අලෙවිකරන නමින් පොදු ජනයාට කරන වංචාවන් හා එවැනි ව්‍යාපාරික ක්‍රම පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කලෙමි. මෙම ලිපිය අධික ලෙස දීර්ඝ නොවීම සැලකිල්ලට ගෙන එම ලිපිය තුලින් ඉදිරිපත් කල කරුණූ නැවත මෙම ලිපිය තුලින් ඉදිරිපත් කිරීමට අදහස් නොකරන නිසා ඒ තුල සාකච්චා කල කරුණූ පිලිබදව ඔබේ බුද්ධිමත් අවදානය නැවත යොමු කරන ලෙස ඉල්ලා සිටිමින් තරුණ තරුණියන් සිහින ලෝකයක අතරමං කරන නෙට්වර්ක් මාකටින් නම් මේ මාතෘකාව වෙත දැන් යොමු වෙමි.

අද අපට බොහෝ විට දක්නට ඇත්තේ "බල්ලො මරා හෝ සල්ලි හොයාමු", "මළ මිනී විකුණා හෝ සල්ලි හොයමු"… යයි සිතන, පතන සමාජයකි. මේ හේතුව නිසාම කොන්ත්‍රත් ක්‍රමයට මිනී මරණ පිරිස් අප සමාජයේ ම අද දක්නට ඇත. නීතිය ආරක්ෂා කරන්න සිටින පොලිස් ලොක්කන් මෙවැනි ව්‍යාපර මෙහෙයවූ ආකාරය මේ පුංචි රට තුල අසන්නට ඇත. ජනතාවට සේවය කරන බව පවසමින් ඔවුන්ගේ දේපල සූරාකන (අල්ලස් ගන්නා) රාජ්‍ය නිලධාරීන් දකින්නට ඇත. ළමයින්ට නිදහස් අධ්‍යාපානය ලබාදෙන්න මුදල් ගරන විදුහල්පතිවරුන් දක්නට ඇත… මෙලෙස සියල්ල මුදල් මත තීන්දු කරන විකෘති වී ගිය සමාජයක් මධ්‍යයේ මුදල් මත තීන්දු වන විවිධ වූ ව්‍යාපාරික උපක්‍රම පහසුවෙන් සමාජගත වීමත් ඒ වටා ජනතාව සීඝ්‍රයෙන් ඒකරාශී වීමත් පුදුමයට කාරණයක් නම් නොවේ. අද ව්‍යාපාරික ලෝකය අතිශය තරඟකාරීය. මේ හේතුව නිසාම දිනපතා විවිධ වූ ව්‍යාපාරික උපක්‍රම සමාජගත වීම සුලභව දැකිය හැක. මේ සමාජගත වන උපක්‍රම අතුරින් සමහරක් සාර්ථක වන විට තවත් සමහරක් අසාර්ථක වී යයි. සාර්ථක වන උපක්‍රම අතුරින් ද සමහරක් රටේ නීතියට අනුකූල නොවන අතර තවත් සමහරක් රටේ නීතියට අනුකූල වූවත් සාධාර්ණ උපක්‍රම නම් නොවේ.

මෙතැනදී විශේෂයෙන් කිවයුතු කාරණයක් ඇත. එනම්, ‘සාධාර්ණ‘ යන්න සාපේක්ෂ කාරණයකි. නිදසුනක් ලෙස ‘පොලී‘ සමඟ ගනදෙනුව රටේ නීතිය අනුවත්, සමාජ බහුතර පිලිගැනීම අනුවත් යහපත් ක්‍රමවේදයකි. නමුත් සමාජ සාධාර්ණ මුල්තැන දී විමසා බලන විට එය අනුමත කලහැකි ක්‍රමවේදයක් නොවේ. එසේම එය ඉස්ලාම් දහම ද තරයේ ප්‍රතික්ෂේප කරයි. මේ අනුව රටේ නීතියට අනුකූල එසේම බහුතර ජනතාව ‘සාධාර්ණ‘ යයි සිතන ව්‍යාපාරික උපක්‍රම සමහරක් අවස්ථාවල ආගමික රාමුව තුල අවලංගු වී යාහැකි බව පිලිගතයුතුය. මෙම කාරණය ද තරයේ මතකයේ රදවාගෙන මෙවැනි ව්‍යාපාරික උපක්‍රම අතර වර්ථමානයේ ජනප්‍රිය වෙමින් පවතින ව්‍යාපාරික උපක්‍රමයක් වන නෙට්වර්ක් මාකටිං (Network Marketing – කණ්ඩායම් අලෙවිකරණය) යන්න හා එය පදනම් කරගෙන අප රටේ ක්‍රියාත්මක ඉහතින් ඉඟිකල ව්‍යාපාරය පිලිබදව දැන් විමසා බලමු.

මිත්‍රයෙකුගේ ආරාධනයෙන් නගරයේ ජනප්‍රිය හෝටලයක පැවතී ඉහතින් සදහන් වැඩමුළුවට මා ද සහභාගි වුයෙමි. ඉතා අලංකාර ලෙස හා ආකර්ශණීය ලෙස සංවිධානය කර තිබූ එම වැඩමුළුව පුරාම තිබුණේ ඉතා දුප්පත්, අසරණ, නුගත, උගත්… තරුණ තරුණියන් ධනවත් වූයේ කෙසේද? යන්න පිලිබදව තම අත්දැකීම් ඉදිරිපත් කිරීමයි. එසේ අත්දැකීම් ඉදිරිපත් කල පිරිස් අතර මහා ව්‍යාපාරිකයන්, ඉංජිනේරුවරුන්, නීතීඥයින්, ග්‍රැෆික් නිර්මාණකරුවන්… ද විය. ඔවුන් තම ක්ෂේත්‍රයන් අතහැර නෙට්වර්ක් මාකටිං ක්ෂේත්‍රයට සම්බන්ධ වූ බවත්, ඒ නිසාම පාපැදියෙන් ගමන් කල තමන් අද ‘හයිබ්‍රඩ්’ වාහනවලින් ගමන් කරන බවත්, තමන් කැමැති රටවල සංචාරයේ යෙදෙන බවත්, තමන් කැමති ස්ථානයක කැමති අයුරින්ම නිවසක් තනාගත් බවත්, දරුවන් තමන් කැමැති පාසැලකට ඇතුල් කරගත් බවත්, තමන්ගේ දෙමාපියන්ට අවශ්‍යතරමින් පිනට දෙන්න අවස්ථාව සලසා දී ඇති බවත් රූපරාමු සහිතව ඔවුන් ඉදිරිපත් කිරීමන් කරන ලදී. මෙසේ ඉදිරිපත් කිරීමන් කරන අතර තුර තමන් මේ ලඟා කරගෙන ඇති තත්වය මේ වැඩමුළුවට සහභාගිව සිටී (අති බහුතර රුකියා විරහිත) තරුණ තරුණීයන්ට ද දුෂ්කර ඉලක්කයන් නොවන බව නිතර පවසන ලදී.

පැය 05ක පමණ වැඩමුළුවක් වූ මෙහි අවසාන පැයේදී පමණ මාස කිහිපයකින් ඉහත ඉලක්කයන් සියල්ල ඔබට ද සපුරාගත හැකි බවත්, ඔබ ද ධනවතකු වන බවත් පවසමින් එය කරන්නේ කෙසේද? යන්න පැහැදිලි කරන ලදී. එය මෙසේය…

  • මුලින්ම ඉහත (ග්ලෝබල් ලයිෆ්) ආයතනයෙන් නිෂ්පාදනයක් මිලදී ගතයුතුය.
  • එසේ මිලදී ගැනීමක් සමඟ තවත් රුපියල් 1200.00 මුදලක් ගෙවා එම ආයතනයේ ලියාපදිංචි වියයුතුය.
  • ඉන්පසු තමන් මිලදීගත් නිෂ්පාදනය හෝ ඉහත ආයතනයේ වෙනත් නිෂ්පාදනයන් පිලිබදව තම සමීපතයන් දැනුවත් කොට ඔවුනටත් ඉහත ආයතනයෙන් කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමට පෙලඹවිය යුතුය.
  • එසේ ඉහත ආයතනයෙන් ඔවුන් ද මිලදී ගන්නා විට ඔවුන්වද රුපියල් 1200.00 ක් ගෙවා ලියාපදිංචි කරවිය යුතුය.
  • මේ මිලදී ගත් පිරිස ද තමන්ගේ මිතුරන් සමීපතයන් අතර ප්‍රචාරයන් සිදු කරමින් ඔවුන් ද ඉහත ආකාරයට මිලදී ගැනීමකට හා ලියාපදිංචියකට යොමු කලයුතුය.
  • ආයතනයේ සක්‍රියා සාමාජිකයෙකු වීමට තමන් යටතේ අවම වශයෙන් දෙදෙකුවත් ලියාපදිංචි කලයුතු අතර උපරිමය 04 ක් වේ.
  • මෙසේ ඉහල සිට පහලට රුක් සටහනක් ආකාරයට අලෙවිකරණය සිදුවන අතර මේ තුල සක්‍රියව දායක වන පිරිසට විවිධ කොන්දේසිවලට යටත්ව කොමිස් මුදලක් හා ලකුණු ක්‍රමයක් ක්‍රියාත්මක වන අතර එම ලකුණුවලට අනුව ද මුදල් ගෙවීමක් ආයතනය සිදු කරනු ලැබේ.

ඉහත කරුණු කියවන ඔබට රටේ ලෝකේ ව්‍යාපාර කටයුතු පිලිබදව හා පසුගිය කාලවල අපේ රටේ වාර්ථා වූ ‘පිරමීඩ‘ ක්‍රමය පිලිබදව කිසියම් අවබෝධයක් ඇත්නම්, මේ ව්‍යාපාරයත් තවත් ‘පිරමීඩ‘ ව්‍යාපාරයක් නොවේද? යන සැකය මතුවනවා නොඅනුමානය. ඔව්, ඉහතින් මා සදහන් වැඩමුළුව අතර තුර මාගේ සිත තුල නිතර වද දුන් පැනයක් වූයේද? එයයි. නමුත් එම වැඩමුළුව තුල අත්දැකීම් ඉදිරිපත් කල එක්තරා නීතිඥ තරුණයෙකු රටේ ‘පිරමීඩ‘ ව්‍යාපාර සම්බන්ධ 2005 අංක 2 දරන බැංකු (සංශෝධන) පනත ඉදිරිපත් කරමින් මෙම ව්‍යාපාරය ‘පිරමීඩ‘ ව්‍යාපාරයක් නොවන බව වැඩමුළුව තුල ඒතුගැන්වීමට උත්සාහ කරන ලදී. එහිදී මෙය ‘පිරමීඩ‘ ව්‍යාපාරයක් ම යන්න මාහට තවත් පැහැදිලි විය. මෙම විෂයට අළුත් වූ පිරිසට ‘මේ පිරමීඩ කථාව මොකක් ද?‘ යන කුතුහලය ඇති වන්න පුළුවන. දැනට එය සරලව පවසනවා නම්, ලිදට වැටුනු කෙනෙකු ලිද පතුලෙන ගොඩ එන්න තවත් පිරිසක් ලිද තුලට ඇදගෙන ඔවුන්ගේ කර මත නැඟ ගොඩයන්න කරන උත්සාහයක් බඳුය. (ඇත්තටම මොකක්ද මේ ‘පිරමීඩය‘ එය මේ ලිපියේ ඉදිරියට පැහැදිලි කරන්න අදහස් කරන අතර ඊට ප්‍රථම) මෙවැනිම වෙනත් වැඩමුළුවක දී මේ ප්‍රශ්නය ‘රිවිර‘ පුවත්පතේ මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේ ඊට ඉහතින් සදහන් ‘ග්ලෝබල් ලංකා‘ ආයතනයේ ප්‍රධානියෙකුගෙන් ලැබූ පිලිතුර 2014/06/29 පුවත්පතේ වාර්ථා කොට තිබුණේ මේ ආකාරයටය.

‘මේක අන්තිමට යන්නේ උසාවියටනේ . උසාවියේදී ඔප්පු කරන්න බෑ අපි කලේ පිරමිඩ හරි ඒවාගේ එකක් හරි කියලා ඉතින් අපි නිදහස්‘

දැන් ඔබට අවබෝධ විය යුතුයි. මෙම නෙට්වර්ක් මාකටිං ක්‍රමය එක්තරා ආකාරයක ‘පිරමීඩ‘ ක්‍රමයක්ම බව,නමුත් රටේ වත්මන් නීතිය මෙවැනි ව්‍යාපාර කොටු කරගන්න තරම් ප්‍රමාණවත් නොවන බව ඔහුගේ ප්‍රකාශය තුලින් පිලිඹිබු වේ. එසේ වූවත් මාගේ විශ්වාසය දැනට රටේ පවතින නීතිය ප්‍රමාණවත් මෙවැනි ව්‍යාපාර නීත්‍යානුකූල නොවන බව ඔප්පු කරන්න. එය මෙසේය…

ඉහතින් සදහන් 2005 අංක 2 දරන බැංකු (සංශෝධන) පනතේ ප්‍රධාන ප්‍රඥප්තියේ ‘83 ආ’ වගන්තිය පහත ආකාරයට ‘83 ඇ’ වගන්තිය ලෙස රජය සංශෝධනය කොට ඇත. එනම්,
83 ඇ. (1) මුදලින් හෝ මූල්‍ය වටිනාකමකින් දායකවීමට හෝ මුදල් හෝ මූල්‍ය වටිනාකමක් ගෙවීමට සහභාගිකරුවන්ට නියම කරනු ලබන සහා සහභාගිකරුවකු විසින් උපයනු ලබන ප්‍රතිලාභ
(අ) එම යෝජනා ක්‍රමයේ සහභාගිකරුවන්ගේ සංඛ්‍යාවෙහි වැඩවීම මත, හෝ
(ආ) එම යෝජනා ක්‍රමයේ සහභාගිකරුවන් විසින් ගෙවා ඇති දායක මුදල් වැඩිවීම මත
ප්‍රධාන වශයෙන් තීරණය වන්නා වූ යෝජනා ක්‍රමයක් කිසිම තැනැත්තකු විසින් කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ආරම්භ කිරීම, අර්පණය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරය කිරීම, පැවැත්වීම, මුදල් සැපයීම, කළමණාකරණය කිරීම හෝ විධාන කිරීම නොකල යුතු ය.

මෙහි කථා කරන ව්‍යාපාරය ඉහත සංශෝධන පනත අමු අමුවේ උල්ලංගනය කරන ව්‍යාපාරයක් යන්න මාගේ විශ්වාසයයි. නමුත් සමහරක් තැන්වල දී ඔවුන් උපක්‍රමශීලී ලෙස නීතිය මඟහරින්න උත්සාහ උපක්‍රම යොදයි. නිදසුනක් ලෙස සාමාජිකයන්ගෙන් සෘජුවම දායක මුදලක් ලබා නොගෙන (අයකරන වටිනාකමට නොවුවත් එම වටිනාකමට යයි පවසමින්) සූර්‍ය කෝෂ පැකේජයක් අනිවාර්‍යයෙන් අලෙවි කරයි. (මෙය පනතේ සදහන් අන්‍යාකාරයට මුදල් අයකර ගැනීමකි) එසේ අලෙවි කිරීමෙන් නතර නොවන ඔවුන් එම (සාමාජිකයන් නොහොත්) ගැනුම්කරුවන් ද පිරමීඩයක (රුක් සටහනක් ආකාරයට) තම ක්‍රියාදාමය පහල ගෙනයායුතු බව අනිවාර්‍ය කරයි. නියම ආකාරයට එනම් කෙනෙකු තවත් දෙදෙනෙකු හෝ හතරදෙනෙකු යනාදී ලෙස එම ක්‍රියාදාමය පහලට (එනම් පිරමීඩයක ආකාරයට) ගෙන යයි. එසේ ගලා නොයන අවස්ථාවල ඔවුන් අපේක්ෂිත ආදායම කිසිවකුටත් හිමි නොවේ. එය වඩාත් හොදින් අවබෝධ කරලීම පිණිස රූප සටහන හොදින් නිරීක්ෂණය කරන්න. එනම්,

පිංතුරය මත Click කොට පැහැදිලිව නරඹන්න

මෙම ආයතනයට සම්බන්ධ පිරිසගෙන් ‘ඇයි තමන් සම්බන්ධ නොවන අලෙවිකරණයක දී පවා ඉහල මුදලක් ඉහලින් සිටින පිරිසට ලැබෙන්නේ?’ යයි විමසූ විට ඔවුන් සියළුදෙනා පවසන පොදු තර්කය වන්නේ අපි සියළුදෙනා බාහිර පුද්ගලයන් දැනුවත් කිරීමටත් ප්‍රචාරණය කිරීමටත් සම්බන්ධ වෙනවා අනික ආයතනය වෙළද ප්‍රචාරණයට වෙන්කරන මුදලත් අපිට ලබාදෙනවා. ඒ නිසා විශාල මුදලක් ඉහලට යනකම් බෙදෙනවා යන්නයි. මෙය ඉහත ආයතනය තම සාමාජිකයන් මුලාකරන්න යොදා ගන්නා තවත් උපක්‍රමයකි.

මොහොතක් ඔබ සිතා බලන්න…

මේ ආයතනයේ අරමුණ තම නිෂ්පාදනය අලෙවිකරණය (Marketing) නම්, එම අලෙවිකරණයේ නියලෙන පිරිසගේ අලෙවිකරණ දක්ෂතාවයට මුල්තැන දියයුතුය. නමුත් ආයතනය සැලකිලීමත් වන්නේ අලෙවි කරන පැකේජ් පිලිබදව නොව එම ව්‍යාපාරයට සම්බන්ධ වන ඔළුගෙඩි ගණන පිලිබදවය. එපමණක් නොව එම ඔළුගෙඩි ද පිරමීඩයක් ලෙස ගොඩනැගීම අත්‍යඅවශ්‍ය යන්න ආයතනයෙන් ප්‍රකාශ නොවන අනිවාර්‍ය කොන්දේසියකි. ඉහත රූපයේ රතු පාටින් දක්වා ඇති සාමාජිකයන් දෙස හොදින් බලන්න. එහි A,B,C,D,E, F,G,I,J,K,H,P,O,M,N,L යන පිරිස් තම ආයතනයේ පැකේජ් කොතරම් අලෙවි කලත් ඔවුන්ට හිමි සෘජු කොමිස් මුදල වන රුපියල් 2000.00 හැර වෙන කිසිදු මුදලක් හිමි නොවේ. මන්ද ඔවුන්ගේ අලෙවිය ඉහල මට්ටමක පැවතුනත් පිරමීඩ ක්‍රියාවලිය එහි සිදුව නැත. ඒ අනුව කොමිස් මුදලට හිමිකම් කියන්නට හැකියාව ඇත්තේ නිල් පාටින් දක්වා ඇති W,X,Y,Z යන කිහිපදෙනාට පමණි. (මෙහිදී මේ උපක්‍රමය තුලද ඉහත ආයනය විශාල ආදායමක් ඉපයූවත් කොමිස් මුදල් ලෙස තම සාමාජිකයන් වෙත ලබාදෙන්නේ ඉතා සීමිත පිරිසකට යන්නත් ඔබ බුද්ධිමත්ව විමසා බැලිය යුතු කාරණයකි). මේ තුලින් පැහැදිලි වන සත්‍යය මෙය නෙට්වර්ක් මාකටිං (Network Marketing – කණ්ඩායම් අලෙවිකරණය) ලෙස ‘අයිසිං’ කොට ජනතාව මුලාකලත් එය ඉහත පනතේ ‘(අ) එම යෝජනා ක්‍රමයේ සහභාගිකරුවන්ගේ සංඛ්‍යාවෙහි වැඩවීම මත,’ යන්න මත තීන්දු වන ‘පිරමීඩ’ එසේත් නැත්නම් රටේ නීතියට විරුද්ධ ව්‍යාපාරයක් යන්න පැහැදිලිය.

එපමණක් නොව ඉහත ආයතනය සහභාගිකරුවන්ට සහභාගිත්ව මුදලක් ප්‍රකාශ නොකොට පැකේජයන්ට අනුව ලකුණු ක්‍රමයක් හදුන්වා දෙමින් ඉහත පනතේ ‘(ආ) එම යෝජනා ක්‍රමයේ සහභාගිකරුවන් විසින් ගෙවා ඇති දායක මුදල් වැඩිවීම මත’ යන කොන්දේසිය මඟහරින්න උත්සාහ කලත් අවසානයේ ලකුණුවලට අදාල මුදල තීන්දු කිරීමේ දී ඉහත පනතේ (ආ) වගන්තිය අමු අමුවේ උල්ලංඝනය වන බව හා එයත් රටේ නීතියට විරුද්ධ බව පැහැදිලිව වටහාගත යුතුය.

මේ අනුව ඔවුන්ගේ මෙම ව්‍යාපාර ක්‍රමය රටේ නීතියට විරුද්ධ ව්‍යාපාර උපක්‍රමයක් යන්න ඔබට පැහැදිලි වියයුතුය. එපමණක් නොව අසාධාර්ණ ලෙස සහභාගිකරුවන් මුලා කරමින් මුදල් උපයන බවත්, ඒ තුල සිදුවන ක්‍රියාවලිය කිසිදු ආකාරයකින් සාධාර්ණ නොවන බවත් ඔබට අවබෝධ වියයුතුය. එය තවදුරටත් ඔප්පු කිරීම පිණිස ඔවුන්ගේ නිෂ්පාදනයක් වන ‘සූර්‍ය කෝෂ පහන්‘ පැකේජය පදනම් කරගෙන විමසා බලමු. එම පැකේජය සම්බන්ධ ග්ලෝබල් ලංකා ආයතනයට කොන්දේසි මෙසේය…

  • එම පැකේජයේ වටිනාකම රුපියල් 65000.00 එයින් එකක් මිලදී ගැනීම අනිවාර්‍ය වේ.
  • ඉන් අනතුරුව එවැනි පැකේජයන් (අවම වශයෙන්) දෙකක් තම සමීපතයන් අතර අලෙවි කලයුතුයි.
  • එවිට එක් පැකේජයක් සදහා රුපියල් 2000.00 බැගින් පැකේජ් 02ක් සදහා 4000.00 සෘජු කොමිස් මුදලක් මැදිහත්කරු වන ඔබට හිමිවේ.

දැන් පිරමීඩය සැකසීම ආරම්භ වේ…

  • එක් පැකේජයක් අලෙවි කලාම 0.75 ලකුණු හිමි වෙනවා.
  • ඔබ සම්බන්ධ කරගත් මිතුරන් දෙදෙනාත් පැකේජයන් දෙකක් බැඟින් 04 ක් අලෙවි කලාම (0.75×4) ලකුණූ 03 ක් හිමි වෙනවා.
  • සෑම ලකුණූ 03 කට ග්ලෝබ් ලංකා ආයතනය රුපියල් 13500.00 ගෙවනවා.
  • එතැන් පටන් මෙම ක්‍රියාවලියට සම්බන්ධ වන පිරිස් නිසිලෙස කටයුතු කලේනම් රුපියල් 13500.00 ගුණාකාර ලෙස ඔබේ ආදායම වැඩි වෙමින් යනවා.

මේ ආකාරයට සිහින ලෝකයක අතරමං කිරීමෙන් තමයි ඔවුන් තම වෙළද නියෝජිතයන් තොරාපත් කරන්නේ. මෙය බැලූ බැල්මට වරදක් නැති බවද පෙනෙනු ඇත. නමුත් මෙහි යථාර්තය අවබෝධ කරගැනීමට නම්, ඔබ ප්‍රථමයෙන් පියවී සිහියෙන් හා බුද්ධිමත්ව මේ දෙස බැලිය යුතුය. ඒ අනුව ප්‍රථමයෙන් ඔවුන් අලෙවි කරන පැකේජය දෙස අවදානය යොමු කරමු. එය විදුලි බල්බ හතරක් හා අඩියයි අඩියේ සූර්ය කෝෂ පැනලයකි. වෙළද දැන්වීම්වලින් තොරව අලෙවි කිරීම සිදුවන මෙම භාණ්ඩයෙන් උපයන ලාභය සිය කණ්ඩායම අතරේ බෙදන බව ඔවුන් පවසයි. නමුත් වෙළද දැන්වීම් ,ප්‍රවාහන, ප්‍රදර්ශනාගාර වියදම්ද ඇතුලව මෙම භාණ්ඩය සාමාන්‍යය වෙලදපොලේ රුපියල් 15000.00 ක් පමණි. නමුත් මේ කිසිවක් නැතිව ග්ලෝබල් ලයිප් ආයතනය ලාභ සහිතව මෙම පැකේජය අලෙවිකරන්නේ රුපියල් 65000.00 කටය. දැන් ඔබේ ආයතනය ඔබට ගෙවන කොමිස් මුදල කොතරම් සාධාර්ණ ද යන්න තව ටිකක් සවිස්තරව විමසා බලමු.

  • ඔබ ආයතයෙන් පැකේජයක් ප්‍රථමයෙන් මිලදී ගන්නා විට වැඩිපුර ගෙවන මුදල (65000-15000) රුපියල් 50000.00 යි
  • ඔබ මිතුරන් දෙදෙනෙකුට එය අලෙවි කරන විට ((65000×2)-4000-30000) ආයතනයට උපයාදෙන ලාභය රුපියල් 96000.00 යි.
  • ඔබේ මිතුරන් තවත් දෙදෙනා බැඟින් එය අලෙවි කරන විට ((65000×4)-8000-13500-60000) ආයතනයට උපයාදෙන ලාභය රුපියල් 188500.00 යි.

මෙය තවදුරටත් අවබෝධ කරගැනීම පිණිස පහත වගුව හොදින් නිරීක්ෂණය කරන්න.

පිංතුරය මත Click කොට පැහැදිලිව නරඹන්න

ඉහතින් සදහන් ආයතනය හදුන්වාදෙන සූර්‍ය කෝෂ පැකේජය ඉහල සිට පහලට අලෙවි කිරීමේ දී (100% සාර්ථක ලෙස පිරමීඩ) පියවර 10 ක් ඉදිරියට අලෙවි වූයේ නම්, එහිදී සිදුවන්නේ කුමක්ද? යන්න ඉහත වගුවෙන් ඉදිරිපත් කොට ඇත. එහි පියවර 10ක් ඉහල සිට පහලට ක්‍රියාත්මක වනවිට,

  • ආයතනයට බඳවාගන්නා සාමාජිකයින් ගණන 1023 කි.
  • අලෙවි කරණ සූර්‍ය කෝෂ පැකේජයන් ගණන 2046 කි.
  • ඒ තුලින් ආයතනයට උපයාදෙන මුදල රුපියල් 265,330,000.00 කි.
  • ආයතනය සාමාජිකයන් හට ගෙවන සෘජු හා වක්‍ර කොමිස් මුදල රුපියල් 49,033,000.00 කි.
  • පැකේජයේ සැබෑ වටිනාකම රුපියල් 15000.00 යයි උපකල්පනය කරමු. (මෙම භාණ්ඩයේ සැබෑ වෙළද වටිනාකම ඊටත් අඩුය)
  • ඒ අනුව ආයතනය අලෙවි භාණ්ඩ 2046 සදහා දැරූ සැබෑ මුදල රුපියල් 30,705,000.00 කි.

ඉහත කරුණූ හොදින් විමසා බැලුවේ නම්, මෙම ව්‍යාපාරය තුල ආයතනය උපයන අසීමිත ලාභය හා සමාජිකයන් අතර බෙදාදෙන සොච්චම් කොමිස් මුදල පැහැදිලිව වටහාගත හැක. නමුත් මෙතැනදී ඔබ අමතක නොකලයුතු කාරණයක් ද ඇත. එනම්, ඉහත ව්‍යාපාරය 100% සාර්ථකව සිදුවුයේ නම් පමණයි ඉහත තත්වය නමුත් ඊට පෙර අංක 01 රූපයේ ආකාරයට සාර්ථකව පිරමීඩය ඉහල සිට පහලට ගමන් නොකලේ නම්, සාමාජිකයන් අතර බෙදෙන්න නියමිත සියළු කොමිස් මුදල් ද ආයතනය ම සතුවේ. එය මේ ආයතනයේ සැඟවුණු අරමුණ මෙන්ම මේ ව්‍යාපාරයේ යථාර්තය ද වේ.

එසේ නම් දැන් සිතන්න…

  • ඉහතින් පියවර 10ක් පමණක් සාකච්චා කොට ඇතත් මේ ආකාරයට තවදුරටත් පහලට ගණනය කරගෙන යාහැක. නමුත් සරලව පැවසනවා නම්, ඔබ වියදම් කල 65000.00 ක මුදල උපයන්න ඔබ ආයතනයට රුපියල් මිලියනයක වඩා වැඩි අලෙවියක් කර දියයුතු නොවේද?
  • එපමණක් නොව ඔබ සිතා බලන්න රුපියල් 65000.00 ලබාදී මිලදී ගත් භාණ්ඩය ඔබේ ජීවිතයේ පවුලේ දැඩි හා දැවෙන අවශ්‍යතාවයක්ද?.
  • ඔබ එය මිලදී ගත්තේ මෙම ව්‍යාපාරයට සම්බන්ධ වී විශාල වශයෙන් මුදල් ඉපයීමේ අදහසින් නොවේද?
  • ඔබ වැය කල මුදල නැවත උපයාගන්න කොතරම් මහන්සි වියයුතුව තිබෙනවාද?.
  • එම මහන්සිය තුල ඔබ කොතරම් සාර්ථක වූවත් තවත් කෙනෙකුගේ හෝ කිහිපදෙනෙකුගේ අසාර්ථකත්වය මත ඔබත් අසාර්ථක වනවා නොවේද?
  • එපමණක් ද නොවේ, මොහොතක් බුද්ධීමත්ව විමසා බලන්න ඔබ ඔබේ මිතුරන් ඥාතීන් සම්බන්ධ කරගෙන ඉදිරියට ගියත් ඒ පිරිස් අතුරින් අති බහුතරය කිසියම් තැනක තවත් ඉදිරියට යාමට නොහැකිව නියත වශයෙන්ම නතර වෙනවා‍ නොවේද?
  • එහිදී මේ ව්‍යාපාරය තුල ඔබට ඉතිරි වන්නේ පාඩුවට අමතරව මිතුරන්ගේ ඥාතීන්ගේ සිත් අමනාපය නොවේද?.

මා මෙසේ පවසන විට ‘නෑ නෑ එහෙම වෙන්නේ නැහැ‘ යනුවෙන් සිතෙන්නට පුළුවන. ඔබට ඉහලින් සිටින පිරිස් ඔබට විවිධ චාටු කථා පවසමින් ඔබව මුලා කරන්නට ද පුළුවන. එහිදී ඔබට ඒ යථාර්තය තේරුම් ගන්න බැරි වන්නට ද පුළුවන. එසේ වුවත් මේ ව්‍යාපාරයේ නියමුවන් ඉහතින් සදහන් ‘රිවිර‘ පුවත්පතට කල ප්‍රකාශය බුද්ධිමත්ව ඔබට තේරුම් ගැනීමට නොහැකි විය නොහැක. එය මෙසේය…

‘මේහෙමයිමේකට කලින් ලංකානෙ මේ වගේ ඒවා තිබුනනේ ඒත් පස්සෙ පස්සෙ ඒවට වෙච්ච දෙයක් නෑඒවා වුනත් මුලින් පටන් ගන්න අය ගොඩ මේක පටන් ගත්තේ අපි . අපි හම්බ කරගෙනඉවරයි ඒකයි ඇත්ත දැන් මේක ඉස්සරහට යනවා ඒ යන්න යන්න අපේ අතට ගානක් එනවාඉතින් අපි මොකටද නවත්වන්නේ … මේකට පස්සේ සම්බන්දවුනු පිරමීඩ එකේ යටම ඉන්නඅයත් ගොඩයන්න ආසාවෙන් තව අය සෙට් කරනවා අපිට මොකද ඉතින් … මේක තව ටිකදවසකින් නවතීවි . උසාවියෙ ඔප්පු කරනන් බැරි නිසා අපි බේරෙනව අනික ඔය බැදෙනකිසි කෙනෙක්ට් අපි නිතිමය ලියවිල්ලක් දෙන්නෙ නැහැ මෙහෙම මෙහෙම මෙච්චර ගානක්මාසිකව දෙනවා කියලා කටින් කියනවා විතරයි ඉතින් එයාල මේක නතර වුනාම කටවහගෙනඅයින් වෙනවා වැඩිම වුනොත් ඒ ගම් පලාතේ ඒ අයව බදවා ගත් අයට ගහාවි. අපිටමොකද මීට කලින් වෙලා නැති ඒවා නෙවෙයිනෙ ඕවා..‘

එසේනම්, ඉහත ව්‍යාපාරය තුල අසාධාර්ණය, වංචාව, මුලාව හා රටේ නීතියට පරස්පර ක්‍රමවේද රාශියක් පවතින බව දැන් ඔබට පැහැදිලි වියයුතුය. මුදල් පමණක් එකම අරමුණූ කරගෙන මෙවැනි ව්‍යාපාරයන්ට සම්බන්ධ වීම හා දැන දැනත් තම මිතුරන්, ඥාතීන් නොමඟ යවමින් මුදල් උපයන්න උත්සාහ කිරීම මනුෂ්‍යත්වය අගයන කිසිවකුට කිසිසේත් අනුමත කලහැකි කාරණයක් ද නොවේ. එසේනම්, ඒ පිලිබදව බුද්ධිමත් තීන්දුවකට එළඹීම බුද්ධිමත් ඔබට ම භාර කරමින් මේ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න මෙතැන් සිට පැහැදිලි කරන්න අදහස් කරමි.

මේ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය…

ඉහත ව්‍යාපාරය තුල අසාධාර්ණ, වංචා ගණනාවක් සිදුවන බව දීර්ඝව මෙතෙක් පැහැදිලි කොට ඇත. මේවා ඉස්ලාම් දහම කිසිවිටෙක අනුමත නොකරන තත්වයන් යන්නත් ඒ අනුව සැලකුවත් මෙම ව්‍යාපරය ඉස්ලාම් දහම අනුමත නොකරන මුස්ලීම්වරයෙකුට කිසිසේත් නොගැලපෙන ව්‍යාපාරයක් යන්නත් හොදින් පැහැදිලිය. එම තත්වය මොහොතකට අමතක කොට තවත් කෝණයකින් මෙය විමසා බැලුවත් එහි ඉස්ලාම් දහමේ ඉ‍ගෙන්වීමන්ට පරස්පර තත්වයන් දක්නට ඇත. ඒ පිලිබදව විමසා බලන්නේ නම්,

අනාගත අපේක්ෂිත ඉලක්ක එසේත් නැත්නම් පූර්ව නිගමනයන් මත හිඳ වෙළදාම් කිරීම නබිතුමාණන් තහනම් කරන ලද ව්‍යාපරික ක්‍රමවේදයක. එනම්, ඔබ අද මෙහෙම කලොත් අනාගතයේදී ඔබට එහෙම ලැබෙනු ඇත යනුවෙන් උපකල්පනය කොට වෙළදාම් කිරීම ඉස්ලාම් අනුමත කරන්නේ නැත. එය පහත හදීසයන් (නබිවදන්) තුලින් වටහාගත හැක.

නබිතුමාණන් නොඋපන් ජීවියෙකු අලෙවි කිරීම තහනම් කරන ලදී. ජාහිලියා සමාජය එවැනි ව්‍යාපාරයක නියලමින් සිටියේය. එනම්, ‘මෙම ඔටුදෙන බිහිකරන පැටියාගේ පැටියා මම විකුණමි/ මම මිලදී ගනිමි’ යනුවෙන් පැවතී ව්‍යාපාරය ඉස්ලාම් තහනම් කරන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

නබිතුමාණන්ගේ කාලයේ ජනයා ගසේ ඇති පළතුරු (අස්වැන්න නෙලීමට නියමිත කාලයටපෙර) විකිණීම පුරුද්දක් කරගෙන සිටියේය. නමුත් පළතුරු නෙලා මිල දී ගත්තැනැත්තාට එය භාරදෙන මොහොත වූ විට ‘මෙය විනාශ වී ඇත, මෙයට රෝග බෝවී ඇත, මෙයඅමු තත්වයේ ඇත, තවත් අඩුපාඩු බොහොමයක් ඇත.’ යනුවෙන් වාද කරනු ඇත. මෙයදැනගත් නබිතුමාණන් ‘ගසේ ඇති පලදාව නිශ්චය කරන තෙක් එය නොවිකුණන්න’ යනුවෙන්නියෝගයක් පනවන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ගසක ඇති පලදාව නිශ්චය කරන තුරු විකිණීම නබිතුමාණන් තහනම් කරන ලදී. මෙම තහනම විකුණන්නාට මෙන්ම මිලදී ගන්නාට ද අයත් වේ.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

මේ ව්‍යාපාරයට සම්බන්ධ වීම තුල අනාගතයේදී ඔබට මෙ‍තරම් විශාල මුදලක් උපයාගත හැක. ඔබට ධනකුවේරයෙකු විය හැක. ඔබේ සිහින ලෝකය සැබෑ කරගත හැක. යනාදී ලෙස පවසමින් ඔබව මුලා කරන මෙම ව්‍යාපාරය තුල ඔබ මුලා නොවුවත් ඔබ විසින් තවත් පිරිසක් මුල කරන බව නම් ඉර හඳ සේ සැබෑවන සත්‍යයකි. එවන් වූ මහා පාපයකට ඔබ උරදෙනවාද? නැද්ද? යන්න තීන්දු කිරීමත් ඔබටම භාර කරමින් මේ ලිපියට විරාමය තබන්නේ ඉහත සදහන් ග්ලෝබ් ලංකා හෝ එවැනි වෙනත් ආයතනයන්ටත් විවෘත අභියෝගයක් ද කරමින් හා විද්වත් මතයකට ඔබේ බුද්ධිමත් විමසුම යොමු කරමිනි. එනම්,

අභියෝගය…

පුඵවන් නම් ඔබේ Network Marketing (කණ්ඩායම් අලෙවිකරණ) ජාලයේ සාමාජිකයන් ක්‍රියාත්මක වී ඇති ආකාරය ප්‍රසිද්ධ කරන්න. එම පිරමීඩය තුල එහි අසාර්ථක වී ඇති පිරිස කොතරම් ද යන්න හා ඒ තුල ආයතනය වංචා සහගත ලෙස උපයා ඇති මුදලත් ඉහලින් සිටින සීමිත පිරිස උපයන ධනයත් ජනතාව වටහා ගතහැකි වනු ඇත.

බුද්ධියට…

ඇතැමුන්ට ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දුන්නද බොරුකාරයන්ට හසුවන්නේ ලෝබයෙන්, ආශාවෙන් දෙනෙත් අන්ධව යෑම හේතුවෙනි. එවැන්නෝ රෑ වැටුණු වළේ මහ දහවලේද ඇදවැටෙති.

වළකට වැටීම මොළයට හිමි වන ලාභයකි.

මා ඕ සේතුං

(එසේම ඉහත ආයතනයට හෝ ‍එවැනි වෙනත් ආයතනයකට ‘යහමඟ‘ ඉඩ සලසා දෙන්නට ද සූදානම්ය. එනම් මේ ලිපියේ ඉදිරිපත් කරන කරුණුවල සාවද්‍ය බවක් ඇත්නම්, යහමඟ ට ලියන්න ඒ සදහා ඉඩ වෙන්කර දීමට යහමඟ සූදානම්,)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම