අල්කුර්ආන් පරිවර්තන හා එහි වලංගුභාවය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


දහමක, දර්ශනයක එහි මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතීම අත්‍යඅවශ්‍ය සාධකයකි. එමපණක් නොව එහි මුල් භාෂාව ආරක්ෂා වී පැවතීමත් ඒහා සමාන අනිවාර්‍ය අවශ්‍යතාවයකි. දහමක දර්ශනයක මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී එහි භාෂාවත් ආරක්ෂා වී පැවතියේ නම්, ඒ දහම හෝ දර්ශනය පිලිබදව බුද්ධිමත් අධ්‍යනයන් හා සංවාදයන් ගොඩනැඟිය හැකි වේ. එසේ නොමැතිව මුඛපරම්පරාගතව පැවත ඇවිත් පසුකාලීන ව ලියවෙන මූලාශ‍්‍රයන් පදනම් කරගෙන බුද්ධිමත් සංවාද ගොඩනැඟීම කිසිසේත් සමභර සංවාදයක් නොවේ. මන්ද කිසියම් දහමක්, දර්ශනයක් එහි මුල්භාෂාවෙන් මුලසිට ලිඛිතව ආරක්ෂා වී නොමැතිව, එසේම එහි මුල්භාෂාව සමාජ භාවිතයේ නොමැතිව පවතින පසුබිමක එම ගෙන්වීමන් නිවැරදිව අවබෝධ කරගැනීමට යෑම කිසිසේත් සාර්ථක නොවේ. විශේෂයෙන් එම ඉගෙන්වීමන් මුල්භාෂාවෙන් ආරක්ෂා නොවී පරිවර්තනයන් ලෙස ඉදිරිපත්වීමේදී එහි පාරිශුද්ධභාවය තවදුරටත් විකෘති වේ. පරිවර්ථනයක දී සිදුවන එවැනි බලපෑම් ආකාර කිහිපයක් පිලිබදව ඔබේ බුද්ධිමත් අවදානය යොමු කරන්නේ නම්,

පරිවර්තනය සිදු කරන…

  • පුද්ගලයාගේ මානසික තත්වය,
  •  ඔහු ජීවත්වන පරිසරය,
  •  ඔහුගේ භාෂා නිපුණතාවය,
  •  ඔහු එම විෂය කෙරෙහි දක්වන උනන්දුව,
  •  එම විෂය කෙරෙහි ඔහුට තිබෙන දැනුම

ඉහත තතවයන් තුල 100% ක් නිවැරදි පරිවර්තනයක් සිදු කිරීම කිසිසේත් ප්‍රායෝගික කාරණයක් නොවේ. මේ හේතු නිසා මුල් කෘතියේ ඉගෙන්වෙන කරුණු පරිවර්තනයක් තුලින් නිවැරදිව අවබෝධ කර ගැනීමට යෑම සාර්ථක ක්‍රමවේදයක් නොවන බව පැහැදිලි වියයුතුයි. මෙය තවත් සරලව පැහැදිලි කරන්නේ නම්, එනම්, ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ඉංග‍්‍රීසි භාෂාවෙන් ලියැවුණු කිසියම් ග‍්‍රන්ථයක් බෞද්ධයකුට, ක‍්‍රිස්තු භක්තිකයකුට හා ඉස්ලාම් භක්තිකයකුට ලබා දී එය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලෙස පැවසුවේ නම්. නියත වශයෙන්ම පරිවර්තන තුනම එක සමාන නොවනු ඇත. එසේම එම පරිවර්තන තුන නැවත ඉංග‍්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස වෙනත් තිදෙනෙකු හට ලබා දුන්නේ නම් නියත වශයෙන්ම එම පරිවර්තනය මුල් කෘතියේ අදහස්, අර්ථයන් හා 100‍% ක් කිසිසේත් නොගැළපෙනු ඇත. ඒ පරිවර්තකයින්ගේ භාෂා හැකියාව, ඉස්ලාම් ආගම සම්බන්ධ තිබෙන විෂමාකාර දැනුම, ඉස්ලාම් ආගම කෙරෙහි තිබෙන කැමැත්ත හා අකමැත්ත වැනි කරුණු කාරණා මේ සදහා සෘජුවම බලපාන බැවිනි. ඒ අනුව යම් කෘතියක එසේත් නැත්නම් ලිපියක පවසන කරුණු නිවැරදිවම අවබෝධ කර ගැනීමට නම්, එය මුල් භාෂාවෙන් පැවතීමත් ඉතාමත්ම වැදගත් සාධකයක් වේ. පරිවර්තනයක් තුලින් ලබාගත හැකි වන්නේ එහි දළ අවබෝධයක් පමණි. ඒ අනුව පරිවර්ථනයන් කොතෙක් පැවතුනත් එහි මුල් කෘතිය මුල් භාෂාවෙන් පැවතීම අත්‍යඅවශ්‍ය හා අනිවාර්‍ය අවශ්‍යතාවයකි.

ඉහත මූලික අවශ්‍යතාවය හොදින් මතකයේ රදවාගෙන ඉස්ලාමීය මූලාශ්‍රයන් හි තත්වය දැන් විමසා බලමු,

ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වු දේව පුස්තකය අල් කුර්ආනය නම් වේ. එය පහල වූ මුල භාෂාව වන්නේ අරාබි භාෂාවයි. ඒ අනුව ඉස්ලාමීය ඉගෙන්වීම මුල්භාෂාවෙන් ආරම්භයේ පටන් ආරක්ෂා වී ඇති බව මුලින් ම වටහාගත යුතුවේ. එපමණක් නොවේ ලොව සෑම මුස්ලීම්වරයෙකුටම වාගේ මෙම අරාබි භාෂාව කියවීමේ හැකියාව ද පවතින බව මෙහි සදහන් කලයුතු සුවිශේෂි කාරණයක් වේ. ලොව සෑම මුස්ලීම්වරයෙකුටම වාගේ අරාබි භාෂාව කියවීමේ හැකියාව පැවතුනත් එහි අරුථ අවබෝධ කරගැනීමේ හැකියාව අතිබහුතරයක් තුල නොමැති වීම කණගාටුවට කාරණයකි. මේ හේතුව නිසාම ශුද්ධ වූ කුර්ආනය පරිවර්ථන විවිධ භාෂාවලින් කලින් කලට ඉදිරිපත්වීම දක්නට ලැබේ. ඒ අනුව ශ්‍රීලාංකීය සමාජය තුල ද සිංහල භාෂාව හසුරුවන මුස්ලීම් හා මුස්ලීම් නොවන ජනතාව ඉලක්ක කොට සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද පරිවර්ථන ගණනාවක් දක්නට ඇත.

අප රට තුල පවා මෙසේ පරිවර්ථන ගණනාවක් නිකුත්වී තිබීම තුල තවදුරටත් තහවුරු වන්නේ පරිවර්ථනයන් තුලින් 100% ක් නිවැරදි ප්‍රතිපල නොලැබෙන බව නොවේද?. නොඑසේ නම් පරිවර්තන කිහිපයක අවශ්‍යතාවය ඇතිවිය නොහැක. පළමුව කරන ලද පරිවර්තනය නිවැරදි නම් දෙවන පරිවර්තනයක අවශ්‍යතාවයක් ඇති නොවේ. දෙවැනි පරිවර්තනයෙන් නිවැරදි වුවා නම් තෙවන පරිවර්තනයක අවශ්‍යතාවය ඇති නොවේ. මේ ආකාරයට පරිවර්තන ග‍්‍රන්ථයන් දිගින් දිගටම ඉදිරිපත් වීම තුල ‘පරිවර්ථනයක් තුලින් මුල් ඉගෙන්වීමට සර්ව සාධාර්ණයක් ඉටුනොවන බව’ ඉතා හොදින් පැහැදිලි වේ. මෙම ඛේදවාචකයට ලොව සෑම දහමක්, දර්ශනයක් ම මුහුණපානවා යන්න තිත්ත වූ ඇත්තයි. මෙම පරිවර්ථන දෝෂය සාමාන්‍ය සටහනක්, ග‍්‍රන්ථයක් සම්බන්ධයෙන් එතරම් සැලකිය යුතු කාරණයක් නොවන්නට පුළුවන. නමුත් ආගමික මූලාශ‍්‍රයක් සැලකූ විට එය කිසිසේත් සුළුකොට තැකිය හැකි සරල කාරණයක් නොවේ. මිනිස් සමාජයට යහමග පෙන්වන හරිවැරැද්ද පෙන්වාදෙන ඉගෙන්වීමක පරිවර්ථන දෝෂ තිබිය නොහැක. එවිට එහි ඉගෙන්වීමන් වීකෘති වීමට පුළුවන. එමනිසා මෙවැනි වැරදි සම්බන්ධයෙන් ජනතාව තුල අවබෝධයක් තිබීම අත්‍යඅවශ්‍ය කාරණයකි.

මෙම තත්වය තවදුරටත් හොදින් අවබෝධකර ගැනීම පිණීස වත්මන් ශ්‍රී ලාංකීය සමාජය තුල සිංහල භාෂාවට පරිවර්ථනය කර ඇති අල්-කුර්ආන් පරිවර්ථන කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළේනම්,

ශ්‍රී ලාංකීය සමාජය තුල සිංහල භාෂා අල්කුර්ආන් පරිවර්ථන ගණනාවක් දක්නට ලැබේ. එම පරිවර්ථනයන් කියවන විට ඒවායිහි බරපතල වැරදි බොහෝමයක් දකින්නට ද ලැබේ. මෙහි භයානකම තත්වය වන්නේ මෙම වැරදි පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව සහෝදර මුස්ලීම් නොවන සමාජය ද මෙම අල් කුර්ආන් පරිවර්ථනය කියවීමයි. එහි දී ඔවුන්ට සිදු වන්නේ සත්‍ය දහම අවබෝධ කර ගන්නවා වෙනුවට විකෘති කළ දහමක් අවබෝධ කරගැනිමයි. මේ කෙරෙහි මුස්ලීම් සමාජයේ දැඩි අවධානයක් යොමු විය යුතු යන්න යහමග මාගේ විශ්වාසයයි. එය පාඨක ඔබ හොදින් අවබෝධ කරදීම පිණිස අප සමාජයේ පවතින අල්කුර්ආන් සිංහල භාෂා පරිවර්ථන කිහිපයකින්, පරිවර්ථන දෝෂ කිහිපයක් පමණක් මෙහි උපුටාදැක්වීමට අදහස් කරමි.

  • “…ඔබට ඉගැන්වූ අවස්ථාව ද ඔබ කිරිමැටියෙන් පක්‍ෂියකු මෙන් මාගේ රූපයක් අඹා එහි පිම්ඹ කල්හි එය මාගේ අවසරයෙන්…” (යෝනක ඉස්ලාමීය සංස්කෘතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘මායිදා’ පරිච්ඡේදයේ 110 වන වාක්‍ය)

සටහන් – මෙහි දෙවියන්ගේ රූපය ඇඹූ බව පවසයි. එවැනි අදහසක් මූලාශ්‍රයේ නැත.


  • “….සොහොන්වල සිටින අය ගැන ප‍්‍රතික්‍ෂෙප කරන්නන්ගේ විශ්වාසය බිදි ගිය ආකාරයටම විනිශ්චය දින…” (ඒ. බී. එම්. කලීල් මහතාගේ අල් කුර්ආන් පරිවර්තනයේ ‘මුම්තහානා’ පරිච්ඡේදයේ 13 වන වාක්‍ය)

සටහන් – මෙහි සොහොන්වල සිටින අයප්‍රතික්ෂේප කිරීම යන්න වැරදි පරිවර්ථනයකි.


  • “…අල්ලාහ්ගේ වරප‍්‍රසාදය ද මුහම්මද් නබි ලොව පහල කිරීමේ දයාළු භාවය ද හේතු කොට ගෙන නොවේ නම්…” (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘බකරා’ පරිච්ඡෙදයේ 64 වන වාක්‍ය)

සටහන් – මෙහි මුල් කෘතියේ මෙවැන්නක් සඳහන් නොවේ.


  • “මා උපන් දින ද, මැරෙන දින ද, … මා කෙරෙහි සාමය” (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘මර්යම්’ පරිච්ඡේදයේ 33 වන වාක්‍ය)

සටහන් – මෙහි කොටසක් අඩුවෙන් පරිවර්තනය කොට ඇත.


  • “…තම ශරීර සුවය තමන්ගේ දෙවියන් වශයෙන් කවුරුන් පත් කර ගන්නේ ද ඔහුව…” (ඒ. බී. එම්. කලීල් මහතා අල් කුර්ආන් පරිවර්තනයේ ‘අල් ෆුර්කාන්’ පරිච්ඡේදයේ 43 වන වාක්‍ය)

සටහන් – මෙහි ශරීර සුවය යන්න වැරදි පරිවර්තනයකි.


  • “නිර්භීත ශක්තියත් දිව්‍යමාන දර්ශනයක් හිමි වූ අපගේ වහලූන්…” (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘ස්වාද්’ පරිච්ඡේදයේ 45 වන වාක්‍ය)

සටහන් – මෙහි දිව්‍යමාන දර්ශන යන්න වැරදි පරිවර්ථනයකි.


  • “ඒ ස්ථානයට පැමිණි සැටියේම හසරත් තාවූස් යමානි රහ්මතුල්ලාහි ඇයටී‘තිගේ අදහස මෙය නම් මේ ස්ථානයෙහිම වැඬේ කැරු ඉවර කරන්න පිළිවනැ’’ යි ඔහු කීවේය (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘තාරික්’ පරිච්ඡේදයේ 04 වන වාක්‍ය)

සටහන් – ඉහත සදහන් කිසිවක් අල් කුර්ආන් මුල් කෘතියේ සඳහන් වී නැත.

මෙහි ඉහතින් මා ඉදිරිපත් කර ඇත්තේ ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමන් පවා බිඳ දමන මූලික ප්‍රතිපත්ති සමඟ පරස්පර වන ආකාරයේ වැරදි අල් කුර්ආන් පරිවර්තන කිහිපයක් පමණි. අද වනවිට අප රටේ අල්කුර්ආන් පරිවර්ථන ගණනාවක් ප්‍රකාශයට පත්වී ඇත. එසේම ඉදිරියේදී තවත් පරිවර්ථන ගණනාවක් ප්‍රකාශ වන්නට ද පුළුවන. ඒ කවුරුන් කෙසේ ඉදිරිපත් කල ද එහි පරිවර්ථන දෝෂ නොවැලැක්විය හැකි කාරණයක් බව පමණක් ඔබ අවබෝධකර ගතයුතුය. මා මෙහි ඉහතින් දෝෂ කිහිපයක් ඉදිරිපත් කොට තිබීම තුල මෙම පරිවර්තන ග‍්‍රන්ථයන්වල වෙනත් වැරදි නැතැයි කියා හෝ අනිකුත් සියල්ල නිවැරදි කියා කිසිවකු කිසි විටෙක ඔබ අවබෝධ කරගත යුතු නොවේ. මෙහි ඉහතින් ගෙනහැර දක්වා ඇත්තේ නියැඳියන් කිහිපයක් පමණි. මෙම කාරණය කෙරෙහි ජනතා අවධානය යොමු කිරීමේ අරමුණ මෙවැනි දෝෂයන්, පරිවර්ථනවල දී සිදුවන බවත් ඒ කෙරෙහි ජනතාව අවධියෙන් සිටිය යුතු බවත් අවබෝධ කර දිම සදහාම පමණි.

අවසාන වශයෙන් මේ පරිවර්ථන මෙහෙවරේ නියලෙන විද්වත් පිරිසට කිවයුතු කාරණයක් ඇත. එනම්, විවිධ බාධක හා දුෂ්කරතා මධ්‍යයේ අල් කුර්ආන් සිංහල භාෂා පරිවර්තනයක් සමාජයට දායාද කිරීමේ මෙහෙවර කිසිසේත් සුළුකොට තැකිය හැකි මෙහෙවරක් නොවේ. එම මෙහෙවර කිසිසේත් මා අවතක්සේරු ද නොකරමි. එම මෙහෙවරට මෙවැනි ලිපි බාධාවක් නොවේවා! කියා පලමුව ප්‍රාර්ථනා කරමි. ‘යහමග’ මා යෝජනා කරන්නේ ‘විවිධ සංවිධාන, කල්ලි, කණ්ඩායම් හා තනිපුද්ගල වශයෙන් අල්කුර්ආන් පරිවර්ථන ශ්‍රී ලාංකීය සමාජයට ලබාදීමේ තරඟය නවතා ‘යහපත් පරිවර්ථනයක් ශ්‍රී ලාංකීය සමාජයට දායාද කරමු’ යන උතුම් අධිෂ්ඨානයෙන් යුතුව විවෘත විද්වත් සාකච්චා මණ්ඩපයක සාකච්චා කරමින් ශුද්ධ වූ අල්කුර්ආනයට වඩාත් සමීප සාර්ථක එක් පරිවර්ථනයක් ලබාදීමට සියළු පාර්ශව එක්රුස් වියයුතු යන්නයි. එතැනින් ද එම මෙහෙවර අවසන් නොකොට එසේ කරනු ලබන පරිවර්ථනයන් කෙරෙහි නැවත නැවත අවධානය යොමු කරමින්, එය සාර්ථක පරිවර්ථනයක් ලෙස යාවත්කාලීන කරන්න කටයුතු කරන්නේ නම්, අපට අවම වැරදි සහිත සත්‍යයට වඩාත් සමීප පරිවර්ථනයක් සමාජයට දායාද කිරීමට හැකිවනු ඇත’ යන්නයි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම