මුෂ්රික් සහ කාෆිර්
ඉස්ලාම් දහම, සමාජය තුල පවතින අධ්‍යාත්මික විශ්වාසයන් හා බැදීම පදනම් කරගෙන ප්‍රධාන කොටස් කිහිපයකට ඔවුන් ගොනු කරයි. එම කොටස් මොනවාද? යන්නත්, එසේ කොටස් කිරීමට පදනම් වූ හේතු කාරණා මොනවාද? යන්නත් යහමග අඩවිය තුල මීට ඉහත සමාජය ඉස්ලාමීය වර්ගීකරණය යන ලිපිය තුලින් කෙටියෙන් සාකච්චා කොට ඇත. එම ගොනු කිරීම් තුල මෙතෙක් සාකච්චා නොවූ ප්‍රධාන කොටස් දෙකක් ඇත. එනම්, “මුෂ්රික්” සහ “කාෆිර්” යන්නයි. ඒ අනුව මෙම ලිපිය තුලින් එම කොටස් දෙක පිලිබදව මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් කරමි.
ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් තුල මෙන්ම මුස්ලීම් සමාජය තුල නිතර අසන්නට හා දකින්නට ලැබෙන වචන අතර මෙම “මුෂ්රික්” සහ “කාෆිර්” යන වදන් දෙක ද වේ. මෙම වදන් දෙකෙහි සරල විග්‍රහයක් මෙහි ඉදිරිපත් කරන්නේ නම්,
- කාෆිර් – කාෆිර් (Kafir) යන වචනයේ අර්ථය ‘අවිශ්වාසවන්තයා’, ‘ප්‍රතික්ෂේප කරන්නා’, ‘නොඇදහිලිවන්තයා’… යනාදීය වේ. මෙම යෙදුමෙන් අදහස් කරන්නේ ඉස්ලාමය හෝ ඉස්ලාමයේ මූලධර්ම අනුව අල්ලාහ් (දෙවි)ව ප්‍රතික්ෂේප කරන හෝ අවිශ්වාස කරන, දෙවියන්ගේ ආධිපත්‍යය අධිකාරී බලය ප්‍රතික්ෂේප කරන පිරිස මෙලෙස හැදින්වේ. මෙම ක්‍රියාව “කුෆ්ර්” ලෙස ඉස්ලාම් දහම හදුන්වන අතර අල්කුර්ආනය 64-2 වාක්‍යය මඟින් මෙය තවදුරටත් පැහැදිලි කරයි.
- මුෂ්රික් – මුෂ්රික් (Mushrik) යනු ඉහත කාෆිර්වරුන්ගේම එක් කොටසකි. එනම් අල්ලාහ් (දෙවි)ට වෙන කිසිවක් හෝ කිසිවෙක් සමාන කොට ඇදහීම හෝ පිලිගැනීම ‘ශිර්ක්’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර එම ක්‍රියාවේ නියලෙන පිරිස ‘මුෂ්රික්’ ලෙස හැදින්වේ. මෙම ක්‍රියාව “ශිර්ක්” ලෙස ඉස්ලාම් දහම හදුන්වන අතර අල්කුර්ආනය 6-161 වාක්‍යය මඟින් මෙය තවදුරටත් පැහැදිලි කරයි.
ඉහතින් සදහන් කාෆිර්, මුෂ්රික්, කුෆ්ර් සහ ශිර්ක් යන වදනන් හි සම්බන්ධතාවය තවත් සරලව මෙහි පැහැදිලි කරන්නේ නම්,
- “කුෆ්ර්” ක්‍රියාවක නියැලෙන්නා “කාෆිර්” යන්නත්,
- “ශීර්ක්” ක්‍රියාවක නියැලෙන්නා “මුෂ්රික්” යන්නත් වේ.
මේ අනුව මෙම “ශිර්ක්” සහ “කුෆ්ර්” යන දෙක අතර වෙනස කුමක්ද? යන්න පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් තුලින් විමසා බලන විට එහි පහත අල්කුර්ආන් වාක්‍යය අපට හමුවේ. එනම්,
නියත වශයෙන්ම ග්‍රන්ථය හිමි(අහ්ලුල් කිතාබ්)වරුන් හා (ශිර්ක් කරන) ආදේශකයින් අතර (කුෆ්ර් කරන) ප්‍රතික්ෂේපකයෝ ද සිටිති. ඔවුන් නිරයේ වූ ගින්නේ හි සිටිති. ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුහු මැවීම් අතුරින් නරකම අය වේ.
අල්කුර්ආනය 98-6
ඉහත වාක්‍යය හොදින් නිරීක්ෂණය කලේනම්, එහි “ශිර්ක්” කරන අය සහ “කුෆ්ර්” කරන අය වෙන වෙනම සදහන් කිරීම තුල මේ දෙකම එකක් නොව දෙකක් යන්න පැහැදිලි වේ. එසේම මෙම “ශිර්ක්” සහ “කුෆ්ර්” ක්‍රියාවල නියැලෙන්නන් සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න මෙහි විමසා බැලුවේ නම්, එහිදී පහත අල්කුර්ආනය ඉගෙන්වීම තුලින් එයට පිලිතුරු ලැබේ. එනම්,
නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආදේශ (ශිර්ක්) කිරීම ක්ෂමා නොකරන්නේය.
අල්කුර්ආනය 4-48
සැබැවින්ම ප්‍රතික්ෂේප කළවුන්ද වැරදි කළවුන්ද වන ඔවුනට අල්ලාහ් ක්ෂමා නොකරයි. තවද ඔහු ඔවුනට අන් කිසි මඟක් නොපෙන්වයි.
අල්කුර්ආනය 4-168
ඉහත වාක්‍යයන් දෙකෙන් 4-48 වාක්‍යය මඟින් "මුෂ්රික්වරුන්" කරන එම “ශිර්ක්” නම් පාපයට සමාව හිමි නොවන බවත්, 4-168 වාක්‍යය මඟින් "කාෆිර්වරුන්" කරන එම “කුෆ්ර්” නම් පාපයට සමාව හිමි නොවන බවත් පැහැදිලි වේ. එසේම ඉහත 98-6 වාක්‍යය මඟින් "ඔවුනට සදාකල් නිරය හිමි" යන්න පැවසීම තුල මොවුන් සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න හොදින් පැහැදිලි වේ. එපමණක් නොව මුස්ලීම්වරයෙකු ඉස්ලාමය ප්‍රතික්ෂේප කොට “කාෆිර්” හෝ ඉස්ලාමය තුල හිඳිමින් දෙවියන්ට සමානයන් තබමින් “මුෂ්රික්” වූයේ නම් ඔහු මෙලොව කරන ලද සියළු කුසල් පලක් නොවන ලෙස ප්‍රතික්ෂේප වී යන බවත් ඉස්ලාම් දහම පහත අල්කුර්ආන් වාක්‍යයන් මඟින් මුස්ලීම් සමාජයට අවවාද කිරීම දක්නට ලැබේ. එනම්,
(නබියේ!) ඔබට, ඔබට පෙර සිටි සෑම (දූත)යෙකුටම අත්තෙන්ම වහී මගින් දැනුම් දෙනු ලැබූ දැය (කිමෙක්දයත්, දෙවියන්ට) ඔබ සමානයන් තැබුවහොත්, ඔබගේ පින් (සියල්ල) විනාශ වී, නියත වශයෙන්ම ඔබ පරාජිතයින්ගෙන් වූ අය බවට පත් වන්නෙහුය” (යනුවෙන් වේ).
අල්කුර්ආනය 39-65
නුඹලාගෙන් කවරකු හෝ තමාගේ දහම (ඉස්ලාමය) හැර දමා කාෆිර් (ප්‍රතික්ෂේප කළ) කෙනකු ලෙස මිය ගියහොත් ඔවුන්ගේ ක්‍රියාවන් මෙලොවදීත් පරලොවදීත් නිෂ්ඵල වන්නේය. නිරයේ හිමිකරුවෝ ඔවුහුමය. ඔවුහු සදාකාලිකව එහි රැඳෙති.
අල්කුර්ආනය 2-217
ඉහතින් ඉදිරිපත් කොට ඇති කරුණුවලට අනුව “කුෆ්ර්” සහ “ශිර්ක්” යන්න අපගේ කුසල ක්‍රියාවන් නිෂ්පල කරන, අපට දෙවියන්ගේ සමාව කිසි දින නොලැබෙන සහ සදාකල් නිරයේ රඳවන අවාසනාවන්ත එකම ඉරණමක් වෙත අපව රැගෙන යන මාර්ග දෙකක් යන්න පැහැදිලි වේ. මෙම අවවාදයන් කෙරෙහි මුස්ලීම් සමාජයේ බුද්ධිමත් අවදානය යොමුවේවා! යන පැතුමින් සහ "ශිර්ක්" ක්‍රියාවන්ගෙන් අපව අල්ලාහ් (දෙවි) ආරක්ෂා කරත්වා! යන ප්‍රාර්ථනයෙන් මෙම සටහනට විරාමය තබමි.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න