තව්හීද් ජමාතය හා තව්හීදය පිලිගැනීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පාස්කු 21 ක ප්‍රහාරයත් සමඟ නිතර නිතර මාධ්‍යයන් තුලින් අසන්නට ලැබෙන වචනයක් වන්නේ ‘තව්හීද්’ යන්නයි. ඒ සමඟම ‘තව්හීද් ජමාත්’ යන්න ද දැන් නිතර නිතර අසන්නට පටන්ගෙන ඇත. ඉහත ප්‍රහාරයත් සමඟ රජය විසින් තහනම් කල සංවිධානය ‘ජාතික තව්හීද් සංවිධානය’ වූවත්, කාගේ හෝ උවමනාවකට දැන් දැන් රටේ මාධ්‍යයන් හා සමාජ මාධ්‍යයන් එය ‘ජාතික’ කොටස ඉවත් කොට ‘තව්හීද් සංවිධාන’ ලෙස සූක්ෂම ලෙස ‘වර්ණපාල න්‍යායක්’ රඟ දක්වමින් ඇත. මා එම කාරණය විශේෂයෙන් මෙහි සටහන් කිරීමට හේතුව වන්නේ මේ රට තුල ‘තව්හීද් ජමාත්’ සංවිධාන නොහොත් ඉස්ලාම් ආගමික සංවිධාන (යහමඟ භාෂාවෙන් ආගමික කල්ලි) විශාල ප්‍රමාණයක් ඇත. මා දන්නා පමණින් මේ කිසිදු සංවිධානයක් ත්‍රස්ථ ක්‍රියාවල නියලුනු ‘ජාතික තව්හීද් සංවිධාන’ මෙන් මරාගෙන මැරෙන විකෘති මතවාදයක් දරණ සංවිධාන, කල්ලි කණ්ඩායම් නොවේ. මේ රටේ ජාති ආගම් භේද නොබලා සේවය කරන ‘තව්හීද් සංවිධාන’ විශාල ප්‍රමාණයක් ඇත. මේ සියළු සංවිධාන සූක්ෂම ලෙස ඉලක්ක කොට ඔවුන් සියල්ල ‘ත්‍රස්ථ සංවිධාන’ කරන මාධ්‍ය හරඹයක් ‘තව්හීද් සංවිධාන’ යන නම භාවිතා කරමින් මේ වනවිට ක්‍රියාත්මක වෙන ආකාරයක් දක්නට ඇත. එපමණක් නොව මුස්ලීම් හා මුස්ලීම් නොවන බොහෝ පාර්ශවයන් පටු අරමුණු ඇතුව මෙම ‘තව්හීද්’ යන්නට හා ‘තව්හීද් ජමාත්’ යන්නට විවිධ අර්ථකථනයන් ලබාදෙමින් මාධ්‍ය සංදර්ශනයන් සිදු කරමින් ද ඇත. මෙම විග්‍රහයන් බොහෝමයක් කිසිදු ආකාරයකින් සාධාර්ණ හා නිවරුදි නොවන නිසා මෙම විෂය පිලිබදව යහමග තුලින් මෙතැන් සිට කරුණූ කිහිපයක් පාඨක ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කරමි.

මෙහි මුලින්ම කිවයුතු කාරණය නම්, ‘තව්හීද්’ සහා ‘තව්හීද් ජමාත්’ යන්න පැහැදිලිවම විෂයන් දෙකක් යන්නයි. ‘තව්හීද්’ යන්න පිලිබදව මෙම යහමග අඩවිය තුල ‘තව්හීද් යනු කුමක්ද?’ යන මාතෘකාව යටතේ මීට ඉහත පැහැදිලි කොට ඇත. එම පැහැදිලි කිරීමෙන් කොටසක් මෙහි උපුටා දක්වන්නේ නම්,

තව්හීද් යනු…

අරාබි භාෂාවෙන් ‘වහ්ද්’ (Wahadha) යන වචනයට ‘එකක්’, ‘ඒකක’ යන අරුථ හිමිවේ. මෙය පදනම් කරගෙන ගොඩනැ‍ඟෙන ක්‍රියා පදය ‘වහ්හද්’ (wahhadha) යන්නයි. එහි අරුථ ‘ඒකීය කළා‍’ යන්නයි. එහි වර්ථමාන කාල ක්‍රියාපදය වන්නේ ‘යුවහ්හිදු’ (yuwahhidhu) යන්නයි. එහි අරුථ ‘ඒකීය කරනවා’ යන්නයි (ඉංග්‍රීසියෙන් unite, unify). මෙම ‘වහ්හද්’ (wahhadha) යන අතීත කාල ක්‍රියා පදයෙන් බිහිවෙන නාම පදය ‘තව්හීද්’ යන්නයි. එය අරාබි ‘සර්ෆ්’ (පද ව්‍යාකරණ) ක්‍රමයට අනුව සර්ෆ් ක්‍රමයේ තුන් වන අවස්ථාවයි. (එනම්, වහ්හද – යුවහ්හිදු – තව්හීද්) මේ අනුව මෙම ‘තව්හීද්’ යන පදයේ අර්ථය ඒකීයභාවය – ඒකකත්වය යන්නයි. උදාහර්ණයකට ‘මේ රට ඒකීය රටක් කලයුතුයි’ යන ප්‍රකාශය ‘මේ රට තව්හීද් රටක් කලයුතුයි’ යයි පැවසීමෙහි කිසිදු වරදක් නැත. එයින් මේ ර‍ට ඉස්ලාමීය රටක් හෝ ත්‍රස්ථවාදී රටක් ලෙස පරිවර්ථනය කලයුතු යන්න අදහස් නොවේ. මෙම ‘තව්හීද්’ යන වචනාර්ථය සැලකූවිට එහි කිසිදු ආකාරයක භයංකාර හෝ කෲර අදහසක් ගැබ් නොවන යහපත් අදහසක් ගෙනදෙන වචනයක් බව අවබෝධ කරගතයුතුය.

මුස්ලීම්වරුන් මෙම ‘තව්හීද්’ නම් වදන නිතර භාවිතා කරන්නේ ඇයිද?

‘තව්හීද්’ යන්න ඉස්ලාමීය පරිභාෂිතයට අනුව දෙවියන් වන අල්ලාහ්ගේ ඒකීය භාවය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම යනුවෙන් අරුත් වේ. අල්ලාහ් සතු සියලු ගුණාංග ඔහු පමණක් ම සතු යැයි පිළිගෙන එම ගුණාංග වලින් ඔහුව ඒකක කිරීම අල්ලාහ්ගේ ඒකීය භාවය පිළිගැනීම වේ. තවත් සරලව පවසනවා නම් සර්වබලධාරී එකම දෙවියා ‘අල්ලාහ්’ යයි පිලිගැනීම තව්හීදය පිළිගැනීම ලෙස හදුන්වනු ලැබේ.

මේ අනුව ඉස්ලාම් දහමේ තව්හීද්ය පිලිගැනීම මුස්ලීම්වරයෙකු වීම සදහා වූ අනිවාර්‍ය හා අත්‍යඅවශ්‍ය සාධකයක් යන්න ඔබට පැහැදිලි වියයුතුයි. මෙය සමස්ථ මුස්ලීම් සමාජයම ඒකමතිකව පිලිගන්නා අතර එසේ පිලි නොගන්නා පිරිස් මුස්ලීම් නොවේ යන්නෙහි මුස්ලීම් සමාජයේ කිසිදු පාර්ශවයක් තුල විවාදයක් නැත. තවත් සරලව පවසනවා නම්, තව්හීද් නම් වචනය භාවිතා නොකලත් තමන් මුස්ලීම් යයි පවසන ලෝකවාසී සියළු මුස්ලීම්වරුන් තව්හීද්වාදීන් වේ.

මේ අනුව මාතෘකාවේ දෙවන කොටස ‘තව්හීදය පිලිගැනීම’ සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්නත්, සියළු මුස්ලීම්වරුන් තව්හීද්වාදීන් යන්නත් දැන් පැහැදිලි වියයුතුයි. මීලඟට දෙවන කාරණය වන ‘තව්හීද් ජමාතය’ පිලිගැනීම යන කාරණය වෙත යොමු වූයේ නම්,

මෙහිදී ‘තව්හීද්’ යන පදයේ වචනාර්ථය ඉහතින් පැහැදිලි කරගත්තා සේ ‘ජමාත්’ යන්නෙහි වචනාර්ථය විමසා බලන්නේ නම්, මෙහි අරුථ සමූහයක්, කණ්ඩායමක්, එකමුතුවක්… යනාදී ලෙස වේ. ඒ අනුව ‘තව්හීද් ජමාත්’ යන්නෙන් අදහස් වන්නේ ‘තව්හීද්වාදය පිලිගත් ජන සමූහයක්’ යන්නයි.

එසේනම්, දැන් මෙහිදී විමසා බැලිය යුතු කාරණය වන්නේ මුස්ලීම්වරයෙකු වීමට ‘තව්හීදය’ පිලිගැනීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් බව පවසන ඉස්ලාම් දහම ‘වත්මන් තව්හීද් ජමාතයන්’ පිලිබදව දරණ ස්ථාවය කුමක්ද? යන්නයි.

තව්හීද් ජමාත්…

අද ශ්‍රී ලංකාව සැලකීමේදී ‘තව්හීද් ජමාත්’ නොහොත් ‘තව්හීද් සංවිධාන’ විශාල ප්‍රමාණයක් දක්නට ඇත. ආරම්භයේ එක සංවිධානයක්ව පැවතී මෙම සංවිධාන සුළු ආගමික හෝ අභ්‍යන්තර පරිපාලන මතභේදයන් පදනම් කරගෙන එසේත් නැත්නම් ජනප්‍රිය පුද්ගල චරිත මත හා ඔවුන්ගේ මතවාද පදනම් කරගෙන විවිධ නම්වලින් කලින් කලට බෙදෙන්නට විය. මේ සියළු සංවිධානවල නම කුමක් හෝ ‘තව්හීද් ජමාත්’ යන්න වූවාට ඔවුන් සියළුදෙනාගේ මූලික අරමුණ හා ප්‍රතිපත්තිය ‘තව්හීදය’ නිසිලෙස පිලිගෙන ඉස්ලාමීය ඉගෙන්වීම අනුව ජීවත්වීම යන්නයි. තවත් සරලව පවසනවා නම්, යහපත් මුස්ලීම්වරයෙකු ලෙස ජීවත්විය යුතු යන්නයි. නමුත් අවාසනාවන්ත ලෙස මා ඉහතින් සදහන් කලාසේ සුළු සුළු හේතූන් පදනම් කරගෙන ගමින් ගමට නගරයෙන් නගරයට හතුපිපෙනවාසේ පසුගිය කාලවල තව්හීද් සංවිධාන විශාල ලෙස බිහිවන්නට විය.

කවුරුන් තම දහම තුල බෙදීමන් නිර්මාණය කරගෙන (විවිධ) කොටස් වලට බෙදි ගියේද? ඔවුන් තම තම කණ්ඩායම කෙරෙහි (තමන් නිවරැදි යයි) ආනන්ද (සතුටු)වෙති.

ශුද්ධ වූ කුර්ආන් 30-32

තවද නුඹලා සියළුදෙනා අල්ලාහ් (දෙවියන්)ගේ (කුර්ආනය නැමැති) ලණුව දැඩිව අල්ලා ගන්න. නුඹලා නොබෙදෙන්න.

ශුද්ධ වූ කුර්ආන් 3-103

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මඟින් පැහැදිලිව ‘බෙදෙන්න එපා’ කියන ඉස්ලාම් දහමේ ඉගෙන්වීම පසෙක දමා මේ තව්හීද් සංවිධාන ඇතුළු බොහෝ සංවිධාන (නොහොත් යහමග භාෂාවෙන් ආගමික කල්ලි) විසින් ‘මුස්ලීම් සමාජය’ කීතු කීතුවලට බෙදුවා යන්න තිත් වූ ඇත්තයි. ඉස්ලාම් නමින් තව්හීද්, සූෆි, තරීකා, මද්හබ්, තබ්ලීක්, ශියා, අහමදියා… යනාදී ලෙස මුස්ලීම්වරුන්ට කල එම අපරාධය හා අදටත් කරමින් සිටින අපරාධය සමස්ථ මුස්ලීම් සමාජයට ම උරුම කොට ඇත්තේ මහා අවාසනාවන්ත ඉරණමකි. මෙම ඛේදවාචකය යහමග මීට වසර ගණනාවකට පෙර සිට ම දැක මුස්ලීම් සමාජයට අනතුරු ඇඟවීම් කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. යහමග එදා පටන්ම මොවුන් දැක්කේ ඉස්ලාම් දහම විකෘති කරන මුස්ලීම් සමාජය භේද කරන කල්ලිවාදීන් ලෙසයි. ඒ හේතුව නිසාම මේ විෂය පිලිබදව ලිපි ගණනාවක් මඟින් යහමග සමාජය දැනුවත් කරන ලදී. විශේෂයෙන් ඉස්ලාමීය කල්ලිවාදීන්ට හසු නොවී මුස්ලීම් සමාජය කටයුතු කරන්නේ කෙසේද? යන්න පිලිබදව දිගින් දිගටම යහමග කථා කර ඇත. නමුත් ඒ සියල්ල නිෂ්පල කරමින් අද සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයම අවාසනාවන්ත ඛේදවාචකයකට ඔවුන් තල්ලු කොට හමාරය. ඔවුන් සියළු පාර්ශවයන් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය භේද කල ඒ පාපයට අල්ලාහ් (දෙවි) විසින් ලබාදුන් දඬුවමක් දෝ? යන්න අද විටක සිතේ.

අවසාන වශයෙන්…

‘තව්හීදය’ පිලිගැනීම සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්න දැන් ඔබට අවබෝධ වියයුතුය. කවුරුන් හෝ මම තව්හීද්වාදියෙක් නොවේ යයි පවසයි නම්, එයින් අදහස් වන්නේ ඔහු මුස්ලීම් නොවේ යන්න පමණි. නමුත් ඉස්ලාම් නමින් කිසිවකු කිසියම් ආගමික කල්ලියක් (සංවිධානයක්) නියෝජනය කරන්නේ නම්, එය තව්හීද් නමින් වූවත්, වෙනයම් නමකින් වූවත් ඔවුන් මුස්ලීම් සමාජය හා ඉස්ලාම් දහම බෙදීමේ මහා පාපායේ උරුමක්කාරයන් යන්නත් පැහැදිලි වියයුතුයි. එලෙස ‘මුස්ලීම් සමාජයේ බෙදීම් ඇති කරන පිරිසගෙන ඈත්ව හුදෙකලාව හෝ යහමග ජීවත් වන්න’ යන්න ඉස්ලාම් පවසන දැඩි ඉගෙන්වීමයි. එනම්,

නබිතුමාණන් පවසයි,

‘සියළු බෙදීමන්ගෙන් ඔබ දුරස් වන්න. (ඔවුන් වෙත ඇදී නොගොස්) ගසක මුලක් හෝ ඔබේ දත්වලින් හෝ අල්ලාගෙන ඔබ ඔබව ආරක්ෂා කරගන්න. ඒ තත්වය තුල ඔබ මියදුනත් කිසිදු බෙදීමකට ඔබ එක් නොවන්න.’

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

මේ සියළු ඉස්ලාමීය ඉගෙන්වීමන් පසෙක දමා සුළු සුළු මතවාදයන්ට ආගමික කල්ලි කණ්ඩායම් හදාගනිමින් මේ සමාජයේ සමඟිය හා ශක්තිය හීන කරමින් මොන ‘ජමාත්’ බිහි වූවත් ඒ කිසිවක් ඉස්ලාම් හෝ මුස්ලීම් සමාජයට අනුමත ක්‍රමවේදයන් නොවන බව දැන්වත් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය අවබෝධ කරගතයුතු යන්නත්, ඔවුනට එරෙහිව දැඩිව නැඟී සිටීමට පසුබට නොවිය යුතු යන්නත් අවදාරණය කරමින් මේ ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම