2013 වර්ෂය මුස්ලීම්වරුන්ට තීරණාත්මකයි – හලාල් සහතික පිලිබදව ‘යහමග’ ස්ථාවරය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


වර්ථමානයේ අප රට තුල උණූසුම් මාතෘකාවක් බවට ‘හලාල්’ යන්න පත්ව ඇත. මේ ‘හලාල්’ නම් වචනය මූලික කරගෙන ‘හලාල් සහතිකය’ හා ‘හලාල් ලජංඡනය’ පිලිබදව විවිධ වූ කතිකාවන් සමාජය තුල ගොඩනැ‍ගෙමින් ඇත. සාධාර්ණ වූ කිසිදු පදනමක් නොමැති ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට එරෙහිව ගොඩනැඟුණු මේ ‘හලාල්’ විරෝධි ව්‍යාපාරයේ බලපෑම ‘යහමඟ’ අඩවිය දුටුවේ අද ඊයේ නොවේ. මේ නිසාම තමා මීට වසර කිහිපයකට පෙර පටන් මේ විෂය මෙම අඩවිය තුල සාකච්චාවට ගැනුණේ. එලෙස පලවූ ලිපි කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

මේ ආකාරයට ‘යහමඟ’ අඩවිය ‘හලාල් සහතිකය’ හා එම විෂය පිලිබදව ශ්‍රී ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම පිණිස කරුණූ සාකච්චා කල ද ඒ සියළු උත්සාහයන් නිෂ්පල කරන ආකාරයේ පුළුල් ව්‍යාපාරයක් වර්ථමානයේ අප රට තුල නිර්මාණය වෙමින් ඇත. ඒ ‘බොදු බළ සේනා’ නම් සංවිධානය පෙරටු කරගත් ‘හලාල්’ විරෝධි ව්‍යාපාරයයි. ‘හලාල් සහතිකය’ පෙරදැරි කොට කරලියට එන ඔවුන්ගේ න්‍යාය පත්‍රය කුමක් ද? යන්න අද ඕනෑම කෙනෙකුට පැහැදිලිය. එයට මෙම අඩවිය තුල පලකල ‘දිය බිංදුව තුල කිඹුලන් දකින බොදු බළ සේනාව‘ නම් ලිපිය හොද නිදසුනකි. කෙසේ වෙතත් ඔවුන් මේ රටේ බහුතරය වන බෞද්ධ ජනයා දිනාගැනීමටත්, සූක්ෂම ආකාරයෙන් මුස්ලීම් සමාජයට එරෙහිව ඔවුන් පෙල ගැසීමටත් යොදාගන්නා පලමු උපක්‍රමය වන්නේ මේ ‘හලාල්’ සහතිකය හා ලාංඡනයයි. එහිදී ඔවුන් ඉදිරිපත් කරන බෞද්ධ ජනයාට සංවේදී තර්ක කිහිපයක් වන්නේ, ‘මේ රටේ මෙච්චර කල් නොතිබූ මේ හලාල් සහතික දැන් මොකටද?, මේ හලාල් සහතික මඟින් උපයන මුදල් ජාත්‍යන්තර ත්‍රස්ථවාදයට ලබාදෙනාවා, මේ රටේ සම්ප්‍රදායික මුස්ලීම්වරුන් මේ ‘හලාල්’ සහතිකය අනුමත කරන්නේ නැහැ, මුස්ලීම් ආගමිකයන් හලාල් අපිට මොකටද?…’ යන්න එවැනි තර්ක කිහිපයකි.

මෙහි ප්‍රථමයෙන් සදහන් කලයුතු කාරණය නම් අද මා ඉහත තර්කයන්ට පිලිතුරු ලබාදීමට අදහස් නොකරන බවයි. ඒ මීට පෙර මෙම අඩවිය තුල මෙන්ම වෙනත් බොහෝ වෙබ් අඩවි තුල මේ තර්කයන් කොතරම් සාධාර්ණ ද යන්න පිලිබදව ගැඹුරින්ම කරුණූ සාකච්චා කර ඇති නිසාත්, මේ බොදු බළ සේනා විටින් විට කරනු ලබන මාධ්‍ය ප්‍රකාශයන් තුල ම ඔවුන්ගේ චෝදනාවන්ට පිලිතුරු අන්තර්ගත වන නිසාත්ය. සරල නිදසුන් දෙකක් පමණක් මෙහි ගෙනහැර දක්වන්නේ නම්,

  • ‘හලාල්’ සතිකය තුලින් උපයන මුදලින් ජාත්‍යන්තර ත්‍රස්ථවාදයටත්, රට තුල ජිහාද් සංවිධාන බිහිකරන්නටත් ක්‍රියා කරනවා යන්න ඔවුන්ගේ එක් ප්‍රබල චෝදනාවකි. එසේ ප්‍රකාශ නිකුත් කරන බොදු බළ සේනාව තවත් අවස්ථාවක කියා සිටින්නේ විදේශ රටවලට යවන භාණ්ඩ සදහා ‘හලාල්’ ලාංඡනය ලබාදුන්නාට අපිට කමක් නැහැ. – (මට ඇති ප්‍රශ්නය එතකොට ඔය කියන ජාත්‍යන්තර ත්‍රස්ථ සංවිධානවලටත් රට අභ්‍යන්තරයේ නිර්මාණය කරනවා යයි පවසන ජිහාද් සංවිධානවලටත් එම මුදල් යෙදවීම පිලිබදව බොදු බළ සේනාවට ගැටළුවක් නැද්ද?)
  • මේ රටේ සාධාර්ණ අගයන ජාතික සමඟිය අගයන බුද්ධිමත් බෞද්ධ ප්‍රජාව දිනා ගැනීම සදහා අද බොදු බළ සේනාව නව උපක්‍රමයක් දියත් කරයි. ඒ මේ රටේ සම්ප්‍රදායක මුස්ලීම් ප්‍රජාවක් ගැන කථා කරයි. මේ බොදු බළ සේනාවේ මනක්කල්පිත සම්ප්‍රදායික මුස්ලීම්වරුන් පවා දැඩිව වෛරයෙන් විවේචනය කල අවස්ථාවන් බොහෝය එයට ඉහත ‘දිය බිංදුව තුල කිඹුලන් දකින බොදු බළ සේනාව‘ නම් ලිපියේ අසාද් සාලි මහතාගේ 2013/01/22 දින TNL සාකච්චාවේ බොදු බළ සේනා සංවිධානය දුරකථනයෙන් මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් කල ප්‍රකාශය හොදම නිදසුනකි.

ඒ කෙසේ වෙතත් ඉතා සරල කාරණයක් වන ‘හලාල්’ (‘මුස්ලීම්වරුන් සදහා පරිභෝජනයට සුදුසුයි’) යන්නට රාක්ෂ මුහුණුවරක් ලබා දී බහුතරය ජනයා ප්‍රකෝපකාරී ලෙස හැසිරවීමට මෙහෙය වන, ඒ සදහා විවිධ වූ ඊනියා මතවාද සමාජය තුල වපුරමින් සමස්ථ සමාජයම ජාතිවාදයක් කරා මෙහෙය වන, ඒ තුලින් ඉතා පහත් හා පටු අරමුණූ දිනාගැනීමට ක්‍රියා කරන මේ බොදු බළ සේනා සංවිධානය අද රට තුල නිර්මාණය කරමින් තිබෙන මතවාදය කිසිසේත් සුළුකොට තැකිය එකක් නම් නොවේ. අද අප රටේ දේශපාලන වේදිකාව ද උණූසුම් කරවන තැනට මේ සංවිධානය ක්‍රියා කරමින් ඇත. මේ හේතුව නිසාම මේ දිනවල උණූසුම් ප්‍රකාශයන් දේශපාලන වේදිකාවන් හි සුළභ දසුනක් වී ඇත. එපමණක් නොව ඉහත ජාතිවාදී සංවිධානයයේ ක්‍රියාකාරීත්වය අද කොතරම් ප්‍රබල වී තිබෙනවාද යන්න පවසනවා නම්, ආරම්භයේ එම සංවිධානයේ ක්‍රියාකලාපය විවේචනය කල පාර්ශවයන් පවා අද වනවිට එම සංවිධානයට පක්ෂව ප්‍රකාශ නිකුත් කරන තැනට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රබල වී ඇත. මේ නිසා ඔවුන් බෞද්ධ ජනයාගේ ආකර්ශනය දිනාගැනීම පිණිස සංවේදී ප්‍රකාශ නිකුත් කරමින් ඇත. විශේෂයෙන් රටේ ජාතිවාදී ඡන්ද දිනා ගැනීමේ දේශපාලන අරඟලයක නියුතු සමහරක් දේශපාලන පක්ෂ ඉහත සංවිධානයේ මතවාදයට පක්ෂව ප්‍රකාශ නිකුත් කරමින් පොරවල් වීමට උත්සාහ කරමින් ඇත. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ පවා සුළු ජාතීන්ගේ අයිතියට එරෙහිව කරන අසාධාර්ණය දැක දැකත් ඡන්ද කතිරය හමුවේ මුනිවත රකිමින් පුහු ප්‍රකාශ නිකුත් කරමින් ඇත. සරලවම පවසනවා නම් රටේ ජාතිවාදී හෝ ආගම්වාදී ඡන්ද දිනාගැනීමේ කූඨ ව්‍යාපාරයක මේ සියළු පිරිස් නිරතව ඇත.

මෙවන් සමාජ පසුබිමක ‘යහමග’ අඩවිය මේ වත්මන් ‘හලාල්’ අර්බුදය සම්බන්ධයෙන් දරණ ස්ථාවරය පැහැදිලි කරමින් ශ්‍රී ලාංකීය බුද්ධිමත් ප්‍රජාවගේ අවදානයට විශේෂයෙන් ජම්මියතුල් උලමා ඇතුලු ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ අවදානයට කරුණු කිහිපයක් යෝජනාවක් ලෙස ගෙන එන්නට අදහස් කරමි. ඊට ප්‍රථම කෙටියෙන් හෝ ඉහත සදහන් ‘බොදු බළ සේනා’ සංවිධානයේ අවදානයට මෙන්ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුනට ආවඩන පිරිසගේ බුද්ධිමත් අවදානයට ප්‍රශ්න කිහිපයක් යොමු කරන්නට අදහස් කරමි. එනම්,

මේ රටේ ‘හලාල්’ ලාංඡනය පාරිභෝගික භාණ්ඩ සදහා මූද්‍රණය කලේ අද ඊ‍යේ නොවේ. එසේ තිබිය දී අද මෙය ගැටළුවක් වුනේ කොහොමද?. මෙතෙක් කල් රට තුල ක්‍රියාත්මක වූ මෙම ‘හලාල් ලාංඡනය’ වර්ථමානයේ උණූසුම් මාතෘකාවක් වුනේ කොහොමද?. මේ තුලින් ජම්මියතුල් උලමා සභාව උපයන මුදල ජාත්‍යන්තර ත්‍රස්ථ සංවිධානවලට යොදවෙන්නේ නම්, ඒ සදහා ඇති සාක්ෂි මොනවාද?. මේ රටේ සම්ප්‍රදායික මුස්ලීම්වරුන් ‘හලාල්’ ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ බොදු බළ සේනා ප්‍රකාශ කරන මනක්කල්පිත මුස්ලීම්වරුන් ජීවත් වන්නේ කොහිද?. කවදාවත් නැති ‘හලාල්’ දැන් මොකටද? යනුවෙන් විමසීම තුල ඔබලාගේ විෂය පිලිබදව අනවබෝධය මනාව පැහැදිලි වේ. එසේ නම් ‘හලාල්’ පිලිබදව ඔබලා දන්නේ මොනවාද?. රටේ බහුතර ප්‍රජාව තමන් වටා එක්රොක්වීම තම සංවිධානයේ අවශ්‍යතාවය හා සාර්ථකත්වය කියාපාන සාධකයක් බව පුලපුලා පවසන බොදු වළ සේනාව තම ජාතිය ආගමට ‍එරෙහිව ඊනියා තර්ජනයක් නිර්මාණය කිරීම තුල (තම දිවිය පවා ඒ වෙනුවෙන් පූජා කරන තැනට) අනිකුත් ජාතිය කෙරෙහි වෛරයක් වියරුවක් ගොඩ නැඟූ කොටි ත්‍රස්ථවාදය සම්බන්ධයෙන් බොදු බළ සේනාවේ ස්ථාවරය කුමක් ද?, අවසාන වශයෙන් මේ හලාල් සහතිකයට හෝ ලාංඡනයට එරෙහිව හඬ නඟන ඔබ සංගමයේ සාමාජික පිරිසගෙන් කීයෙන් කීදෙනා ද මේ ‘හලාල්’ පිලිබදව හරියට දන්නේ?.

ඉහත පැනයන්ට පිලිතුරු සෙවීම බුද්ධිමත් බෞද්ධ ප්‍රජාවට බාර කරමින් වර්ථමානයේ උණූසුම් මාතෘකාවක් වී තිබෙන මෙම ‘හාලාල් ලාංඡනය’ කුමක්ද?, එය ජම්මියතුල් උලමා සංගමය මඟින් නිකුත් කරන හලාල් ලාංඡනයට පමණක් සීමා කලයුත්තක් ද? යන්න දැන් විමසා බලමු. මේ විෂය පිලිබදව කථා කිරීමේ දී මීට බොහෝ කලකට ඉහත මෙම අඩවිය තුල දීර්ඝ ලෙස කරුණූ සාකච්චා කල හරාම් හලාල් පිලිබදව විමසුමක් යන ලිපිය මෙහි සදහන් කලයුතුම කාරණයකි. එම ලිපි‍ය ඔබේ බුද්ධිමත් අවදානයට යොමු කරන ගමන් මෙම ලිපිය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස වර්ථමානයේ මතභේදයට තුඩු දී ඇති ‘ජම්මියතුල් උලමා’ සභාවේ ‘හලාල්’ පිලිබදව වූ ක්‍රියා පටිපාටිය සාරාංශ කොට ඔබේ අවදානයට පහතින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි. එනම්,

මෙහි ප්‍රථමයෙන් සදහන් කලයුතු කාරණය වන්නේ වර්ථමානයේ උලමා සභාව මඟින් නිකුත් කරන ආකාරයේ ලාංඡනයක් සහිත හලාල් සහතිකයක් නිකුත් කිරීම ඉස්ලාම් දහම අවධාරණය කරන ඉගෙන්වීමක් නම් නොවේ. එසේනම්, මෙම සංවිධානය මේ රටේ මුස්ලීම් ජනතාවට තම පරිභෝජනය සදහා  සුදුසු හා නොසුදුසු භාණ්ඩ තොරා බේරා ගැනීමට සහය සපයන ස්වෙච්ඡා සංවිධානයක් පමණි. තවත් සරලව පවසනවා නම්, සෑම මුස්ලීම්වරයෙකු ම තම පරිභෝජනය සදහා කිසිවක් තෝරා ගැනීමේ දී එහි අනිවාර්‍යයෙන් සලකා බැලිය යුතු අංගයක් ඇත. ඒ එය ඉස්ලාම් අනුමත එකක් ද? ‍එසේ නොවේද? යන්නයි. මෙය සෑම මුස්ලීම්වරයෙකුම තනි තනිව විමසා බලා ක්‍රියාකිරීම අනිවාර්‍ය වේ. නමුත් අප රටේ මුස්ලීම් ජනතාව වෙනුවෙන් බොහෝ සේවාවන් ලබාදෙන සංවිධානයක් ලෙස ‘ජම්මියතුල් උලමා’ සභාව ඉහත කාරණයේ දී ද මැදිහත් වී මුස්ලීම් ජනයා පරිභෝජනය කරන භාණ්ඩ පිලිබදව ආගමික ඉගෙන්වීම මත හිඳ අධ්‍යනය කොට එය මුස්ලීම්වරුන් සදහා සුදුසු ද? නොසුදුසු ද? යන්න ලාංඡනයක් මඟින් දැනුම්දීම ඉහත සංගමයේ වත්මන් තවත් එක් මෙහෙවරකි. මෙම කටයුත්ත එනම්, එම නිෂ්පාදන භාණ්ඩය පිලිබදව හා එහි අන්තර්ගතය පිලිබදව විදිමත් පරිදි පරීක්ෂණයක් සිදුකොට එය මුස්ලීම් ජනයාට පරිභෝජනය සදහා සුදුසු ද? නොසුදුසු ද? යන්න දැනුම්දීම සදහා මෙම සංගමයට කිසියම් පිරිවැයක් දරන්න සිදුවන නිසා එම පිරිවැය දරන්න එකඟ වන නිෂ්පාදන ආයතන සදහා පමණක්  (විදිමත් පරීක්ෂණයකින් අනතුරුව)  මෙම ‘හලාල් ලාංඡනය’ නිකුත් කිරීම ඔවුන් සිදුකරන අතර එය ඔවුන්ගේ සංගමයට ආවේනික කොන්දේසිවලට යටත්ව සිදු කරනු ලබයි.
මෙහිදී මුස්ලීම් හා මුස්ලීම් නොවන සමාජය පැහැදිලිව අවබෝධ කර ගතයුතු කාරණා කිහිපයක් ඇත. ‘ජම්මියතුල් උලමා’ සභාවෙන් ‘හලාල් සහතික’ නිකුත් කල හා මේ දක්වා නිකුත් නොකල හෝ අත්හිටු වු ව්‍යාපාරික හෝ නිෂ්පාදන ආයතන මෙන්ම එහි නිෂ්පාදිත භාණ්ඩ සම්බන්ධයෙන් වටහා ගතයුතු යථාර්ථයක් ඇත. එනම්,
  •  මුස්ලීම්වරුන්ගේ භාවිතයට සුදුසු එනම් ‘හලාල්’ භාණ්ඩ ‘ජම්මියතුල් උලමා’ හලාල් ලාංඡනය නොමැතිව වෙළද පොලේ ඕනෑ තරම් දක්නට ඇත. එය අදටත් මුස්ලීම්වරුන් පරිභෝජනය කරමින් ඇත.
  •  අදටත් ජම්මියතුල් උලමා හලාල් ලාංඡනය නොමැතිව වුවද ‘හරාම්’ (තහනම්) ‘හලාල්’ (අනුමත) භාණ්ඩ තීන්දු කිරීමේ ආගමික දැනුම හා හැකියාව බහුතර මුස්ලීම්වරුන්ට ඇත.
  •  ‘ජම්මියතුල් උලමා’ හලාල් ලාංඡනය ලබාදුන් භාණ්ඩයක් වුවද ඔවුන්ගේ නිරීක්ෂණයට හසු නොවී ‘හරාම්’ තත්වයේ පවතීමට ද පුළුවන. සරලව පවසනවා නම්, ඔවුනට තමන්ගේ සහතිකය 100% සහතික කල නොහැක.
  •  ‘ජම්මියතුල් උලමා’ සභාවෙන් ‘හලාල් සහතික’ නිකුත් නොකරන ලද සියළු භාණ්ඩ ‘හරාම්’ හෙවත් මුස්ලීම්වරුන්ට භාවිතයට නොසුදුසු යයි කිසිවකුටත් තීන්දු කල නොහැක. මන්ද විවිධ හේතූන් නිසා එම සහතිකය ව්‍යාපාරික ආයතන ලබා නොගෙන සිටීමට පුළුවන. එනම්,
    •  ‘ජම්මියතුල් උලමා’ සභාවෙන් තීන්දු කරන පිරිවැය ව්‍යාපාරික ආයතනයකට දරන්න නොහැකි නිසා,
    • ‘ජම්මියතුල් උලමා’ කොන්දේසිවලට එකඟ විය නොහැකි නිසා,
    • එම ‘හලාල් සහතිකය’ තමන්ට අනවශ්‍ය යැයි සිතෙන නිසා,
    • එම සහතිකය ලබාගැනීම තම ආයතනයට තර්ජනයක් යැයි සි‍තන නිසා,
    • එම සහතිකය පිලිබදව තමන්ට අවබෝධයක් නොමැති නිසා,
    • එම සංවිධානය පිලිබදව තමන්ට පැහැදීමක් නොමැති නිසා,
මේ ආකාරයේ වූ හේතූන් ගණනාවක් නිසා ‘ජම්මියතුල් උලමා සභාව විසින් නිකුත් කරන හලාල් සහතිකය නොමැතිව ‘හලාල්’ තත්වයේ  භාණ්ඩ වෙළද පොලේ තිබෙන්නට පුළුවන. ඇත්ත එවැනි භාණ්ඩ තිබෙනවා යන්නයි. එවැනි භාණ්ඩ අදත් මුසලීම්වරුන් පරිභෝජනය කරමින් ද ඇත. මේ අනුව සියල්ල සාරාංශ කොට පවසනවා නම්, මුස්ලීම් සමාජයට වැදගත් වන්නේ ‘ජම්මියතුල් උලමා’ සභාවෙන් නිකුත් කරන ‘හලාල් ලාංඡනය’ නොව තමන් පරිභෝජනය කරන භාණ්ඩය ‘හලාල් ද? නොවේ ද? යන්න පමණි. අද ‘හලාල් ලාංඡනය’ ඉතා බියකරු රාක්ෂයෙක් ලෙස මුස්ලීම් නොවන ජනයා හමුවේ හදුන්වා දෙමින් පහත් පෙලේ වින්දනයක් ලබන පිරිස මෙන්ම ඔවුන්ගේ කුමන්ත්‍රණවලට හසුවී මුල, මැද හා අඟ නොදැන වියරුවෙන් හෝ ආවේගයෙන් ක්‍රියා සියළු ජනයා ඉහත කාරණය ප්‍රථමයෙන් පැහැදිලි ලෙස අවබෝධ කරගත යුතුය.

මේ ආකාරයට ‘හලාල්’ යනු කුමක්ද? යන්න පිලිබදව නිසි අවබෝධයකින් තොරව ක්‍රියා කරන සහෝදර මුස්ලීම් නොවන සමාජයට එසේ කරුණු පවසන අතරතුර මේ ‘හලාල්’ විරෝධි ව්‍යාපාරය හමුවේ සිත්තැවුලට පත්ව සිටින මුස්ලීම් සමාජයට හා එහි වගකිවයුතු පාර්ශවයන්ගේ අවදානයට ද යොමු කලයුතු වැදගත් කාරණා දෙකක් ඇත. එනම්,

  •  අද අප රටේ අතිබහුතරය බෞද්ධයන් යන්නත්, මේ රට තුල මුස්ලීම්වරුන් සුළුතරයක් යන්නත් සියළුදෙනා හොදින් දන්නා සත්‍යයකි. එය දළ වශයෙන් 75% හා 9% වශයෙන් වේ. මෙවන් තත්වයක මුස්ලීම් නොවන ව්‍යාපාරික ප්‍රජාව ‘හලාල් සහතිකය’ ලබාගන්න උනන්දු වන්නේ නම් ඒ මේ රටේ මුස්ලීම් ප්‍රජාවට ‘හලාල්’ කැවීමට ඇති උනන්දුව හෝ අවශ්‍යතාවය නිසා නොව තම ලාභය තව තවත් වැඩිකර ගැනීමේ අවශ්‍යතාවය නිසායි. ඒ රටේ සුළුතරය වන මුස්ලීම් ජනයාට තම නිෂ්පාදනය පහසුවෙන් අලෙවි කිරීමට මෙන්ම විදේශ වෙළද පොළ පහසුවෙන් දිනා ගැනීම සදහා ම පමණි. නමුත් වැඩි ලාභයක් අපේක්ෂාවෙන් ‘හලාල් සහතිකය’ ලබාගන්න කටයුතු කලත්, වර්ථමානයේ රට තුල නිර්මාණය වෙමින් පවතින අන්තවාදී හලාල් විරෝධි ව්‍යාපාර හමුවේ එම ව්‍යපාරිකයන්ට රට සුළුතරය වන 8% දිනා ගැනීම ‍කෙසේ වෙතත් බහුතරය වන 75% රුකගන්නේ කෙසේද? යන ගැටළුව මතු වී ඇත. මේ තුල ව්‍යාපාරික ප්‍රජාව අසරණ තැනකට තල්ලු වී ඇත. විශේෂයෙන් ජාතිවාදී හා ආගම්වාදී දේශපාලන පක්ෂ එම ව්‍යාපාරිකයන් ට එරෙහිව පසුගිය දිනවල සිදුකල ප්‍රකාශ එයට හොදම නිදසුනකි.
  •  වර්ථමානයේ ක්‍රියාත්මක ‘හාලාල් විරෝධී අන්තවාදී’ ව්‍යාපාරයන් හමුවේ රට තුල නිර්මාණය වෙමින් පවතින ඉතා භයානක තත්වයක් ඇත. ඒ ජාතීන් අතර දිනෙන් දින වර්ධනය වන නොසතුට, වියරුව හා වෛරය යන්නයි. (මෙය මේ දිනවල මේ විෂය පිලිබදව සිදුකරන මාධ්‍ය සාකච්චා තුල ඉදිරිපත් වන ප්‍රේක්ෂක ප්‍රතිචාර තුලින් මෙන්ම) සමාජය තුල බහුතර බෞද්ධ ජනයා ඇසුරු කරන මුස්ලීම් ප්‍රජාවට (පුද්ගලිකව මා අත්විදිමි) මෙම තත්වය සුළබව අවබෝධ කරගත හැක. අප රටේ ‘හාලාල් සහතිකයක්’ නිසා ජාතීන් අතර ඇති වී තිබෙන මේ බෙදීම යථා තත්වයට පත්කිරීමට අපට තව දශක කිහිපයක් අවශ්‍ය වනු ඇත. මෙවන් පසුබිමක අප රට තුල ජාතික සමඟිය නැති කිරීමට භූමිකාවක් නිර්මාණය කරගන්නට වෙර දරණ ‘හලාල් ලාංඡනය’ ආරක්ෂා කරනවාද? නොඑසේ නම් ජාතක සමඟිය ආරක්ෂා කරනවාද? යන්න මුස්ලීම් ප්‍රජාව තීන්දුවක් ගතයුතු ව ඇත.

ඉහත කාරණාව මුස්ලීම් ප්‍රජාව විශේෂයෙන් මේ විෂයට සෘජුවම සම්බන්ධ පාර්ශවයන් බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුව ඇත. මෙසේ මා පවසන විට ‘ යහමඟ’ කියන්නේ ‘හලාල් ලාංඡනය’ ඉවත් කර ගතයුතුයි කියාද? යනුවෙන් ආවේගශීලි පැනයක් සමහර විට ඔබට ඇති වන්නට පුළුවන. ඇත්තේන්ම ‘යහමඟ’ ස්ථාවරය එහිදී ‘ඔව්’ යන්නයි. මෙහිදී ඔබට මා කෙරෙහි තරහක් නොසතුටක් ඇති වුයේ නම් ඒ ගැන මා පුදුම නොවෙමි. මන්ද ඉතා සරල කාරණයක් සමාජය තුල ප්‍රබල ඛේදවාචකයක් ලෙස නිර්මාණය කරන්න කටයුතු කරන පිරිස හමුවේ අප හරිදේ ඉවත් කර පරාජය වන්නේ කුමකටද? යන්න එම තරහේ යථාර්තය වන නිසාය. නමුත් සංගමයක හෝ සංවිධානයක යහපත ගැන සිතා ජාතියම ව්‍යාකූල තැනකට යොමු කල නොහැක. එසේ කිරීම ඉස්ලාම් දහමේ ආදර්ශයන්ට එරෙහි වූ ක්‍රියාවක් ද වේ.

මෙතැන දී මුස්ලීම්වරුන් වන අප අමතක නොකලයුතු කාරණයක් ද ඇත. ඒ අපට අනිකුත් සමාජයන් ක්‍රියා කරන ආකාරයට කාලෙන් කාලෙට තම මනස තුල ඇති වන සිතුවිලි හා අදහස් ආගම දහම කියා හෝ නිවරුදි මාර්ගය කියා ක්‍රියා කිරීමට නොහැක. මුස්ලීම්වරුන්ට සදහා ඉස්ලාම් පෙන්වාදුන් ආදර්ශයක් ආගමික විනයක් හා මාර්ගයක් ඇත. ඒ තුල පනවන සමාජය කෙරෙහි වගකීම් ඇත. ඒ සියල්ල ආරක්ෂා කරමින් යන ගමන තුල මුස්ලීම්වරයෙකුට ලෞකිකව අත් වන ඉරණම පරාජයක් නම් එම පරාජය හමුවේ මුස්ලීම්වරුන් සැලෙන්නට අවශ්‍ය නැත. එයට මා ඉස්ලාම් දහම තුලින් ඔබට ආදර්ශ දෙකක් ගෙනහැර දක්වන්නම්,

මුහම්මද් (සල්) තුමාණන් මක්කාව ජයග්‍රහණය කල අවස්ථාවේ. එහි ශුද්ධ වූ දේවස්ථානය වන ‘බක්කාව’ආරම්භයේ පිහිටී සැබෑ ස්වරූපයට වඩා තරමක වෙනස් ස්වරූපයකන් ඉදිකර තිබුණි. මෙහි බොහෝ ප්‍රතිසංස්කරණයන් සිදුකල නබිතුමාණන් එම ගොඩනැඟිල්ලේ පිවිසුම් දොරටුව එලෙසම නිවරුදි නොකොට තබන ලදී. මේ පිලිබදව සහාභාවරුන් (සමකාලීන අනුගාමික පිරිස්) විමසූ විට එතුමාණන් පැවසුවේ. ‘දැන් තමයි මේ පිරිස ඉස්ලාම් දහම අවබෝධ කරගෙන මේ දහම තුලට පැමිනෙමින් සිටින්නේ ඒ වෙලාවේ ඒ පිරිසගේ ගෞරවයට පාත්‍ර වී තිබෙන මේ දේවස්ථානයේ එවැනි වෙනස් කිරීමක් කරන්නට යෑම ඒ අයගේ සිත්තැවුලට හේතු වන්නට පුළුවන එම නිසා මා එය එසේම තබමි’ යනුවෙන් පවසන ලදී.

මුහම්මද් (සල්) තුමාණන්ගේ ඉහත ආදර්ශය තුල අපට පැහැදිලි වන්නේ කුමක්ද?. ඉස්ලාම් දහමේ පරාජවීමක් ද? එම දේවස්ථානයේ පිවිසුම් දොරටුව පහලින් තබනවාද? ඉහලින් තබනවාද? යන්න ආගමික කාරණයක් නොවේ. ඒ ආකාරයටම ‘හලාල් ලාංඡනය’ නිෂ්පාදන භාණ්ඩයේ මූද්‍රණය කිරීම හෝ නොකිරීම ආගමික කාරණයක් නොවේ. එම නිසා එය ඉවත් කර ගැනීම ඉස්ලාම් දහමේ පරාජයක් හෝ පසුබැස්මක් නොවේ. නමුත් එය මුස්ලීම් සමාජයේ පසුබැස්මක් යයි කිසිවකු පවසන්නේ නම් එය සැබෑවකි. මෙතැනදී ද මුස්ලීම් සමාජය පැහැදිලි ලෙස වටහා ගතයුතු කාරණයක් ඇත. එනම් සමාජ යහපත උදෙසා මුස්ලීම් සමාජ පසුබැසීම යන්න අපට අලුත් කාරණයක් නොවේ. ඒ සදහා වූ නිදසුනක් පවසනවා නම්,

  • මුහම්මද් (සල්) තුමාණන් ජීවමානව සිටී අවධියේ සිදුකල ‘හුදෙයිබියා‘ ගිවිසුම (මේ අඩවිය තුල මේ පිලිබදව ලිපි ගණනාවකින් ම සාකච්චා කොට ඇත) එයට හොදම නිදසුනකි.

මුස්ලීම්වරුන්ගේ පසුබැසීමක් බව දැන දැන සහාභාවරුන් (සමකාලීන අනුගාමික පිරිස)ගේ පවා විරුද්ධත්වය මධ්‍යයේ මුහම්මද් (සල්) තුමාණන් ඉස්ලාම් විරෝධීන් සමඟ ඉහත ගිවිසුමකට එළඹුනේ සමාජ යහපත ගැන සිතා මිස තම නොහැකියාව හෝ දුර්වලතාවය නිසා නො‍ව. එවන් පසුබිමක එදා ඒ ගිවිසුම තුල මුස්ලීම් සමාජය ලද පරාජය තරම් පරාජයක් මේ ‘හලාල් ලාංඡනය’ ඉවත් කර ගැනීම තුල වර්ථමාන ශ්‍රී ලාංකීය ප්‍රජාව ලබන්නේ නැත.

මුස්ලීම් සමාජයේ විද්වත් පිරිස් තමන්ට හැකි පමණින් උත්සාහ කලා මේ ‘හලාල් සහතිකය’ කුමක්ද? යන්න ශ්‍රී ලාංකීය සමාජයට ඒත්තුගන්වන්න. නමුත් අප රටේ ජනමාධ්‍ය අන්තවාදී හලාල් විරෝධින්ට ලබාදෙන අවස්ථාවට සාපෙක්ෂව සාධාර්ණ අවස්ථාවක් මුස්ලීම් සමාජයේ විද්වතුන්ට ලබාදීමට කටයුතු කලාද යන්න ප්‍රශ්නාර්ථයකි. හලාල් විරෝධි ව්‍යාපාර සදහා පත්තරවල පිටුගණන් රූපවාහිනි හා ගුවන්විදුලි මාධ්‍යයන් තුල පැය ගණන් ලබාදෙන විට මුස්ලීම්වරුන්ට ඊට සාධාර්ණ අවස්ථාවක් හිමිවුයේ නැත. ලැබුණු අවස්ථාවන් කිහිපය පවා නිසි අයුරින් ප්‍රයෝජනයට නොගත් බවද අකමැත්තෙන් හෝ මෙහි සදහන් කලයුතුමය. කෙසේ වෙතත් මා ඉහතින් සදහන් කලාසේ වර්ථමාන ‘හලාල් විරෝධි’ ව්‍යාපාරය හමුවේ මුස්ලීම්වරුන්ට වඩා තැතිගෙන ඇත්තේ අප රටේ ජාතිවාදී දේශපාලන පක්ෂය. අද වනවිට ඔවුන් ද මෙම අන්තවාදී රුල්ලේ ඉත්තෝ බවට පත්වී හමාරය. මෙහි අවාසනාවන්ත ම තත්වය වන්නේ මෙපමණ දෙයක් රට තුල සිදුවෙද්දී රාජ්‍ය මැදිහත් වීම හුදෙක් ප්‍රකාශවලට හා දේශපාලන වේදිකාවලට පමණක් සීමා වී තිබීමයි. මෙවන් සමාජ පසුබිමක බුද්ධිමත් තීන්දුවක් ගැනීමේ වගකීම මුස්ලීම් සමාජයේ වගකිව යුතු පාර්ශවයන් සතුය.

මෙම වර්ථමාන අර්බුදය තුල රජයට මැදිහත් වී කලහැකි බොහෝ දෑ ඇත. අද හලාල් ලාංඡනය සම්බන්ධයෙන් ‘ජම්මියතුල් උලමා’ සභාවට එල්ල වන ප්‍රධාන චොදනාවක් වන්නේ ‘ව්‍යාපාරිකයන්ගෙන් අසීමිත මුදලක් ලබාගෙන ජාත්‍යන්තර ත්‍රස්ථ සංවිධාන සදහා එම මුදල් ලබාදෙනාවා’ යන්න. (මෙසේ පවසන බොදු බළ සේනාවම තවත් විටෙක ‘විදේශ රටවලට යවන භාණ්ඩ සදහා ‘හලාල් ලාංඡන’ යෙදුවාට කමක් නැතැයි’ ද පැවසීම තුල ඔවුන්ගේ මුසාව හා පරස්පර විරෝධී බව බුද්ධීමත් ප්‍රජාවට මනාව වටහා ගැනීම අපහසු නොවේ) මීට අමතරව ආහාර නිෂ්පාදනයේ දී එම ආහාර වට්ටෝරුව ඉහත සංවිධානය ලබාදීමට සිදුවීමත් ඔවුන් ඉදිරිපත් කරන තවත් චෝදනාවකි. මෙවැනි චෝදනා සියල්ලට පිලියමක් ලෙස රජය මැදිහත් වී මෙම හලාල් සහතිකය විදිමත් පරිධි රාජ්‍ය ආයතනයක් හරහා ලබාදෙන්නට මැදිහත් වන්නේ නම්, එය රජයට ආදයම් මාර්ගයක් මෙන්ම රටේ වත්මන් අර්බුදකාරී තත්වයන්ට මෙන්ම අනාගතයේ දී ඇතිවන මෙවැනිම අර්බුදයන්ට ද පිලියමක් වනු ඇත. අනික මේ සදහා ලොව තුල ආදර්ශ නැතුවාද නොවේ. එසේ ලෝකය තුල ආදර්ශයන් නොවුවත් ලෝකයටම එම ආදර්ශය අප රටින් ලබාදීමට නොහැකිවා ද නොවේ.

එසේ නොවන්නේ නම් ‘යහමඟ’ නැවතත් අවදාරණය කරන්නේ මෙම ‘හාලාල්’ සහතික සම්බන්ධ අර්බුදයෙන් ‘ජමිමියතුල් උලමා සභාව’ ඉවත්විය යුතුය. නමුත් එය කලයුතු වන්නේ ප්‍රධාන කොන්දේසියකට යටත්වය. එනම් මේ රට තුල කිසිදු නිෂ්පාදන භාණ්ඩයක් සදහා ‘හලාල්’ යන්න කිසිදු ආකාරයකින් මූද්‍රණය නොකලයුතුයි යන කොන්දේසියට එකඟව එය කලයුතුය. එසේ මා පවසන්නට හේතුව අදටත් සමහරක් වෙළද භාණ්ඩ ඉහත සම සදහන් සභාවෙන් ‘හලාල්’ සහතිකය නොගෙන තම නිෂ්පාදනවල ‘හලාල්’ යයි මූද්‍රණය කර වෙළද පොලට නිශ්පාදන නිකුත් කරයි. මෙය මුස්ලීම් සමාජය නොමඟ යැවීමකි. එවැනි තැනකට සමාජය යොමු නොවීමට එකඟතාවයකට පැමිණ මේ ‘හලාල්’ සහතිකය ඉවත් කරගැනීම කාලීනව ගතයුතු බුද්ධිමත් තීරණයක් යන්න ‘යහමඟ’ ස්ථාවරයයි. එසේම අවසාන වශයෙන් සමස්ථ මුස්ලීම් සමාජයේ අවදානයට නැවතත් කරුණූ කිහිපයක් දැඩිව අවධාරණය කලයුතුව ඇත. එනම්,

  • මේ ‘හලාල් ලාංඡනය’ ඉවත් කිරීම තුල ශ්‍රී ලාංකීය සමාජය තුල සාමකාමී තත්වයක් නිර්මාණය කලහැකි යයි හැ‍ගේ නම්, ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම සමස්ථ මුස්ලීම් සමාජයටම ඉස්ලාම් දහම අවධාරණය කරන යුතුකම හා වගකීම වේ.
  • ‘හාලාල්’ ලාංඡනය’ ඉවත් කර ගැනීම මුස්ලීම් සමාජය පරාජය පිලිගැනීමක් එම නිසා එසේ නොකලයුතු යයි කිසිවකු සිතන්නේ නම්, එය ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව අනවබෝධයකි.
  • ‘හලාල්’ ලාංඡනය නොමැති භාණ්ඩ වෙළද පොළට පැමිණීම මුස්ලීම්වරුන්ට අපහසුවක් ඇති කරන්නක් යයි සිතීමට අවශ්‍ය නොවේ. මන්ද සතිපතා මුස්ලීම් දේවස්ථානවල පවත්වන සිකුරාදා දේශණ මේ විෂය පිලිබදව සමාජය පූර්ණ දැනුමක් ලබාදීමට අවස්ථාවක් කරගත හැක. (දැනටත් තරමක් දුරකට එම දැනුම මුස්ලීම්වරුන් සතුව ඇත)
  • සියළු ඉස්ලාමීය වෙබ් අඩවීන් හා මාධ්‍ය ආයතන ඒ සදහා වැඩි ඉඩක් ලබාදී ක්‍රියා කිරීමට හැක.

වර්ථමාන කුමන්ත්‍රණකාරී තත්වයත් සමඟ මුස්ලීම්වරුන් ‘හලාල්’ භාණ්ඩ පිලිබදව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුව ඇත. මන්ද මේ දියත්වන ව්‍යාපාර තුල හා ‘ජම්මියතුල් උලමාව’ අක්‍රිය කිරීම තුල ‘හරාම්’ භාණ්ඩ පවා ‘හලාල්’ ලෙස සමාජ ගතවීමට දොර විවෘත වීමට පුළුවන. මේ නිසා ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව 2013 වර්ෂය හලාල් පිලිබදව වැඩි සැලකිල්ලක් දක්වන වර්ෂයක් කරගතයුතුව ඇත. එපමණක් නොව ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් තවත් කාරණයක් පිලිබදව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුව අත. එනම් ඉස්ලාම් දහම තුල කල්ලිවාදයක් ගොඩනඟාගෙන අනිකුත් ඉස්ලාමීය සංවිධානයන් පාවාදීමට මුස්ලීම් සමාජයේ කිහිපදෙනෙකු ක්‍රියා කල අමිහිරි අත්දැකීම් මේ රටේ බුද්ධිමත් මුස්ලීම් සමාජයට අලුත් කාරණයක් නොවේ. මේ අඩවිය තුල පවා සාකච්චා කල වහාබිසම් පිලිබදව දෙරණ ප්‍රවෘත්තිය යන ලිපිය යට එක් නිදසුනකි. මේ බොදු බළ සේනාව ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට එරෙහිව අද අතට ගෙන ඇති ආයුධය අපේම පිරිසගේ පටු අරමුණු වෙනුවෙන් සිදුකල මේ ඊනියා පාවාදීමක් යන්නට සාක්ෂි ඕනෑතරම්ය. මේ තත්වය බුද්ධිමත් මුස්ලීම් ප්‍රජාව හොදින් අවබෝධ කරගතයුතුය. මේ මොහොතේදීත් එවැනි සමහරක් පිරිස් පටු වාසි ලබමින් සිටින බව හදුනාගත යුතුය. මෙවැනි පිරිස් මුස්ලීම් සමාජයට අනාවර්ණය කිරීමට වගකිවයුතු පාර්ශවයන් ක්‍රියා කලයුතුය.

අවසාන ම වශයෙන් සදහන් කලයුතුව ඇත්තේ ජාතියේ සමඟිය ආරක්ෂා කිරීමත් ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමකි. එම නිසා මුස්ලීම් සමාජයේ කිසිවකු හෝ කිසියම් සංවිධානයක් සිදුකරන ක්‍රියාවක් සමස්ථ ජාතියේ සමඟියට නිදහසට තර්ජනයක් නම් එය නොකිරීම මුස්ලීම්වරයෙකුගේ වගකීමකි. එසේම මේ පුංචි රට තුල සුළුතරය වන මුස්ලීම්වරුන් වන අප විවිධ කොටස්වලට බෙදී ගොස් එකින් එකාට චෝදනා නැඟීමේ විපාකය දැන් අප අත්විදිමන් සිටින්නෙමු. මේ වත්මන් අවාසනාවන්ත තත්වය හෙට දවසේ සමස්ථ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය සමූහික ගමනකට පෙරමුණ ගන්න ආශිර්වාදයක් කර ගතයුතුව ඇත. ඒ සදහා අල්ලාහ් (දෙවි) අප‍ට ශක්තිය, ධෛර්‍යය, විවෘත මනස හා නුවණ ලබාදේතවා!, යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මේ ලිපියට විරාමය තබන්නේ මෙහි ඉදිරිපත් කර ඇති කරුණූ සම්බන්ධයෙන් පැහැදිලි සංවාදයක් සදහා සියළු පාර්ශවයන්ට මෙම අඩවිය තුල අවස්ථාව සලසාදීමට සූදානම් බවද ප්‍රකාශ කරමිනි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම