අහස පොළොව නිර්මාණයට දින 06 ද? 08 ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනක එක්තරා සිංහල භාෂාමය Blog එකක “තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත” යන මැයෙන් ලිපියක් පලවී තිබුණි. එහි ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුර්ආනයේ විද්‍යාවට පරස්පර වූ කරුණු පවතින බව පවසමින් එය තහවුරු කිරීම සදහා චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කොට තිබුණි. ශුද්ධ වූ කුර්ආනයේ පරස්පරතාවයක් හෝ නොගැලපීමක් පවතින්නේ නම් එය ශුද්ධ වූ ග්‍රන්ථයක් නොවේ යන්නෙහි කිසිදු මුස්ලීම්වරයෙකු හට මතභේදයක් නැත. නමුත් පරස්පරතාවයන් හෝ නොගැලපීමන් පවතිනවා යයි පැවසූ පමණින් එය පිලිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට තරම් මුස්ලීම්වරුන් අන්ධ භක්තිකයන් ද නොවේ. මුස්ලීම්වරුන් එලෙස ක්‍රියාකිරීම අවශ්‍ය යන්න ඉස්ලාම් දහමේ අපේක්ෂාවද නොවේ. ඉස්ලාමීය ඉගෙන්වීම වන්නේ අවබෝධය තුලින් පිලිගෙන පිලිපැදිමය. එය ශුද්ධ වූ කුර්ආනයේ 47-24 වාක්‍යය මඟින් මෙසේ පවසයි,

“තවද ඔවුන් මෙම කුර්ආනය අධ්‍යනය නොකරන්නේ ද? එසේ නොකිරීමට ඔවුන්ගේ සිත් හි අගුල් දමලාද?”

ඒ අනුව ඉස්ලාම් දහම පදනමකින් තොරව පූර්ව නිගමනවල හිද විවේචනය කරන ඉහත Blog කරුවාට හෝ ඔහු වැනි පිරිස් සදහා ඉහත විෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය බුද්ධිමත් ආකාරයට පැහැදිලි කිරීමේ අනිවාර්ය වගකීමක් මුස්ලීම්වරුන්ට ඇත. කවදත් එම මෙහෙවර නිවරැදිව හදුනාගෙන ඉටුකරන යහමඟ අඩවිය ඉහත එම චෝදනාවන් සදහා ද පිලිතුරු ලබාදීමට අදහස් කරමි. ඒ අනුව එම චෝදනාවන් මොනවාද? එය කොතරම් දුරට වලංගුද? යන්න දැන් එකින් එක විමසා බලමු.

…ඊළඟට පෙනෙන කාරණය තමයි අල්ලාට හෝ මුහම්මද්ට සරල අංක ගණිතය වත් බෑ කියන එක. මුහම්මද් අකුරු උගත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔහු ගණන් වැරැද්දුවාට අපට සමාව දෙන්න පුළුවන්. නමුත් සියළු දේ දන්න අල්ලා ගණන් වරද්දන එක නම් අපට පිළිගන්න බෑ. 7.54, 10.3, 11.7 හා 25.59 යන සුරාත් ඔක්කොගෙම කියන්නේ අල්ලා විසින් සිය මැවීම කලේ දවස් හයකදී බව. හැබැයි 41.9, 41.10, 41.12 යන සුරාත් වල කියන්නේ වෙනම කතාවක්.

41.9 සුරාත් එකෙන් කියන්නේ පෘතුවිය දවස් දෙකකින් මැවුවා කියල. 41.10 සුරාත් එකෙන් කියන්නේ කඳු, සාහර සහ සතුන් දවස් හතරකින් මැවුවා කියල. 41.12 සුරාත් එකෙන් කියන්නේ ස්වර්ගය මැවුවේ දවස් දෙකකින් කියල. මෙතනත් කාරණා මහ හුඟක් ගැන කතා කරන්න තියෙනවා. පළමු වෙනි එක තමයි 41.9 – 12 සුරාත් අනුව විශ්වය මවන්න අල්ලාට දව අටක් ගිහින් තියෙනවා. හැබැයි කලින් කී 2.29 හා 79.27-30 සුරාත් අනුව අල්ලාට ගිහින් තියෙන්නේ දවස් හයයි. එක්කෝ අල්ලාගේ 6 = 8 වෙන්න ඕන. එහෙම නැත්නම් අල්ලාට එකතු කිරීම වැරදෙන්න ඕන. එහෙම වුණොත් අල්ලා සර්ව බලධාරී නෑ…

ඉහත ලිපියෙහි කතෘ “සෙක්කුවට බැන්ද හරකා වගේ” සුපුරුදු පරිදි මෙවරත් පූර්ව නිගමනවල හිද ඉස්ලාම් දහමට එරෙහිව විවිධ තර්කයන් ගෙන හැර දක්වා ඇත. එහි ප්‍රධාන කාරණය වෙත යාමට පෙර ඔහුගේ ලිපිය තුල අන්තර්ගතව පවතින අනුකාරණයක් පිලිබදව වචන කිහිපයක් පවසන්නට අදහස් කරමි. එනම් ඔහුගේ ලිපියෙහි ආරම්භයේ මෙසේ පවසා ඇත.

මුහම්මද් අකුරු උගත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔහු ගණන් වැරැද්දුවාට අපට සමාව දෙන්න පුළුවන්. නමුත් සියළු දේ දන්න අල්ලා ගණන් වරද්දන එක නම් අපට පිළිගන්න බෑ.

ඉහත අදහස් ඔහු කුමන අරමුණින් ප්‍රකාශ කල ද එය තුල ඉස්ලාම් දහමේ සුවිශුද්ධත්වය මනාව පිලිඹිබුවේ. එනම් මුහම්මද් (සල්) තුමාණන් ලිවීමට කියවීමට පවා නොදන්නා කෙනෙකු යන්න සැබෑවකි. ඔහුගේ එම නොහැකියාව ඉස්ලාම් දහමට ඉමහත් අශිර්වාදයතකි. මන්ද ඔහුට සාක්ෂරතා දැනුම පැවතුනේ නම් මෙම ශුද්ධ වූ කුර්ආනය ඔහුගේ නිර්මාණයක් බවට සමාජය තුල මතවාදයන් නිර්මාණය වන්නට තිබුණි. ඉහත ලිපියෙහි කතෘද දැන හෝ නොදැන එම කාරණය පිලිගැනීම සතුටට කරුණකි.

දැන් ඉහත ප්‍රධාන කාරණය වෙත අවධානය යොමු කරමු. එනම් ඉහත ලිපියෙන් එහි කතෘ පෙන්වාදෙන්නේ අහස, පොළොව හා එහි මිනිසාට අවශ්‍ය සියල්ල මැවීම සදහා ගත වූ දින ගනන ශුද්ධ වූ කුර්ආනයේ පැවසීමේ දී එක් ස්ථානයක දින 6ක් ලෙසත් තවත් තැනක දින 8ක් ලෙසත් පවසනවා යන්නයි. එසේ නම් මෙහි සැබෑ තත්වය කුමක්ද? යන්න දැන් විමසා බලමු.

  • ඉහත ලිපියෙහි කතෘ ඉදිරිපත් කරන මුල් කාරණය එනම් මේ සියල්ල (අහස, පොළොව හා එහි මිනිසාට අවශ්‍ය සියල්ල) මැවීම සදහා දින 06 ක් ගතවූ බව ශුද්ධ වූ කුර්ආනය පවසන බව පැවසීම සැබෑවකි. එය පැහැදිලිවම ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් වන 7-54, 10-3, 11-7, 57-4 මඟින් සනාථ වේ.
  • ශුද්ධ වූ කුර්ආනයේ පොළොව මැවීම සදහා දින 02 ක් ගත වූ බව 41-9 වාක්‍යය පවසයි.
  • එසේම අහස නිර්මාණය කිරීම සදහා දින 02 ක් ගතවු බව ශුද්ධ වූ කුර්ආනයේ 41-12 වාක්‍යය පවසයි.
  • මීට අමතරව මේ සියල්ල (අහස, පොළොව හා එහි මිනිසාට අවශ්‍ය සියල්ල) මැවීම සදහා දින 08 ක් ගතවූ බව ශුද්ධ වූ කුර්ආනයේ සෘජුවම පවසනවාද? යන්න සොයා බැලුවේ නම් එවැනි කිසිදු වාක්‍යයක් එහි අන්තර්ගතව නැත. නමුත් ශුද්ධ වූ කුර්ආනයේ 41-10 වාක්‍යය මෙසේ පවසයි
“එය මත උස් කදු ද නිර්මාණය කොට භාග්‍යයන් ද පහල කලේය. තවද එහි (ජීවත්වන්නට අවශ්‍ය) ආහාර ද දින හතරක දී සැලසුම් කලේය.” (41-10)

ගැටළුව ඇති වන්නේ ඉහත 41-10 වාක්‍ය වාක්‍යය තුලිනි. එනම්, පොළොව මවන්න (41-9) අනුව දින – 02 අහස මවන්න (41-12) අනුව දින – 02 අනිකුත් මැවීමන් සදහා (41-10) අනුව දින – 04

මුළු එකතුව දින – 08

ඉහත ආකාරයට ගනනය කලවිට කුර්ආනයේ පරස්පරතාවයක් පවතින බව සැබෑවකි. නමුත් මෙහි අතපසු වූ නමුත් අවධානයට ලක් වියයුතු කාරණයක් ඇත. එනම් ශුද්ධ වූ කුර්ආනයේ 25-59, 32-4, 50-38 වාක්‍යයන් මඟින් පවසන කාරණයයි.

ඔහු අහසද පොළොවද මේ අතර ඇති දැයද දින 06 ක දී නිර්මාණය කලේය. (25-59)

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය අවධාරනය කරන කාරණය නම් අහස, පොළොව හා අනිකුත් දෑ මැවීම සදහා දින 06 ක් ගත වුවා යන්නයි. ඒ අනුව අවබෝධ කරගත යුතු මූලික කාරණය වන්නේ 7-54, 10-3, 11-7, 57-4 වාක්‍යයන් මඟින් පවසන කාරණයම 25-59, 32-4, 50-38 යන වාක්‍යයන් මඟින් සවිස්තරාත්මකව පවසනවා යන්නයි. මීළඟට අවබෝධ කරගත යුතු කාරණය වන්නේ ශුද්ධ වූ කුර්ආනයේ 25-59, 32-4, 50-38 යන වාක්‍යයන් මඟින් පවසන ක්‍රියාවලිය 41-9, 41-10 හා 41-12 යන වාක්‍යයන් වෙන වෙනම පවසන විට දින 08 ක් ලෙස එනවා නම් ඉහතින් පවසන ආකාරයට සංඛ්‍යාත්මක පරස්පරයක් මෙන්ම අවබෝධයේ ද කිසියම් ගැටළුවක් පැවතිය හැක. එයට මා සරල උදාහරණයක් පවසන්නේ නම්,

“මෝටර් රථයක ඇන්ජිම නිෂ්පාදනයට දින 02ක් ගත විය. මෝටර් රථය නිෂ්පාදනයට දින 04 ක් ගතවිය” යන ප්‍රකාශනයක් අප අවබෝධ කරගන්නේ කෙසේද? එය ආකාර දෙකකට තර්ක කල හැක. එනම්,

සංඛ්‍යාත්මක අගයන් පදනම් කරගෙන ඇන්ජිමට දින 02යි, මෝටර් රථයට දින 04යි. ඔක්කෝම දින 06යි. යයි තර්ක කිරීමට ද හැක.

බුද්ධිය යොදවා ඇන්ජිමට දින 02යි. එසේ නම් අනිකුත් කටයුතු සදහා දින (4-2) 02 යි සම්පූර්ණ ක්‍රියාවලියට දින 04 යයි තර්ක කිරීමට ද හැක.

ඉහත දෙආකාරයෙන් සංවාදයන් හා තර්ක විතර්ක ඉදිරිපත් කලත් මෙහි ඇත්තේ සරල කාරණයක් බව බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට පැහැදිලිවම අවබෝධ කරගත හැක. ඒ ආකාරයටම ශුද්ධ වූ කුර්ආනයේ 25-59 වාක්‍යයෙන් පවසන කාරණය ද අවධානයට යොමු කලේ නම්,

අහස නිර්මාණය සදහා දින – 02 පොළොව හා එහි අනිකුත් දෑ නිර්මාණය සදහා දින – 04

මුළු එකතුව දින – 06

දැන් කිසිවකුට මෙය මාගේ පුද්ගලික අදහසක් මිස ශුද්ධ වූ කුර්ආනය එවැනි කාරණයක් නොපවසනා යයි සිතන්නට පුළුවනි. නමුත් ශුද්ධ වූ කුර්ආනයේ 41-10 වාක්‍යය ආරම්භයේ “එය මත උස් කදු ද නිර්මාණය…” යයි පවසමින් පෙර සදහන් කාරණයක් අවධාරනය කරන බව පැහැදිලිවම වටහාගත යුතුය. එම කාරණය ඊට පෙර වාක්‍යය වන 41-09 මගින් පොළොවෙහි නිර්මාණය දින 02 ක් යයි පැවසීම තුල මේ සියළු ක්‍රියාදාමය සදහා එනම් පොලොව නිර්මාණය හා එහි මනුෂ්‍යාට අවශ්‍ය සියල්ල නිර්මාණය සදහා දින 04ක් යන්න අවබෝධ කරගැනීම තමා නිවරැදි ආකාරය වන්නේ. ඒ අනුව 7-54, 10-3, 11-7, 25-59, 32-4, 41-09, 41-10, 41-12, 50-38, 57-4, යන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මඟින් මේ ආහස, පොළොව හා එහි අන්තර්ගත සියල්ල දින 06 කින් නිර්මාණය කලා යන්න කිසිදු පරස්පරතාවයකින් තොරව පවතින බව පැහැදිලි වේ.

ශුද්ධ වූ කුර්ආනය කිසිවිටෙකත් පරස්පර නොවන බව ඉහත ආකාරයට තහවුරු කලද? මෙම සිදුවීම තුල මතුකල හැකි තවත් ප්‍රශ්න කිහිපයක් ඇත. එය ඉහත ලිපියෙහි කතෘ මතු නොකලද මේ ලිපිය සමස්ථ යහමඟ ප්‍රේක්ෂකයන් සදහාම ඉදිරිපත් කරන ලිපියක් වන බැවින් ද ඉදිරියට මෙවැනි තර්ක මතු කිරීමට අපේක්ෂා කරන පිරිසට පූර්ව දැනුවත් කිරීමක් ලෙසද පහත කරුණු ද පැහැදිලි කරමි,

  • සාමාන්‍ය දින 06 ක් තුල මෙපමණ විශාල අහස පොළොව නිර්මාණය කලේ කෙසේද?
  • අහසයි, පොළොවයි නිර්මාණය කරන්නට පෙර දින ගනනය කලේ කෙසේද?
  • ඉර නොමැතිව දින ගනනය කරන්නේ කෙසේද?
  • කුර්ආනය පවසන දින පෘථිවි දිනයන්මද?

මෙය ඉහත විෂයටම බද්ධව පවතින නමුත් මතු නොකල පැනයන්ය. මෙම ප්‍රශ්නයන් විද්‍යාව හා සෘජුවම ගැටෙන මතවාදයන්ට තුඩුදෙන කරුණුය. (ඉස්ලාම්, “විද්‍යාත්මක මතවලට අනුකූල වියයුතුයි” යන ස්ථාවරයේ පැහැදිලිවම නැත මන්ද විද්‍යාවේ ස්ථාවරය මොහොතින් මොහොත දිනෙන් දින සංශෝධනයන්ට වෙනස්වීමන්ට ලක්වන බැවිණි. මේ පිලිබදව මා දීර්ඝ වශයෙන් “දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරයිද?” යන ලිපිය තුලින් සාකච්චා කොට ඇත.) දුර්වල දේව විශ්වාසයක් පවතින ලාංකීය මුස්ලීම් නොවන සමාජයේ ඉහත විෂයට අනුව සැලකූවිට

  • මෙපමණ විශාල විශ්වයක මේ අහස පොළොව හා එහි අන්තර්ගත සියල්ල දින 06 කින් නිර්මාණය වන්නේ කෙසේද?
  • එම දින ගනනය කලේ කෙසේද?

යන ගැටළු මතුවීම නොවැලැක්වීය හැකි තත්වයකි. මෙහි දී ප්‍රථමයෙන් අවබෝධ කරගතයුතු කාරණය නම් දින 06 කින් නොව යි. ඉතා කෙටිම කෙටි කාලයක් තුල පවා මේ මුළු විශ්වයම මැවීමට තරම් අල්ලාහ් (දෙවියන්) බලසම්පන්න යන්න ශුද්ධ වූ කුර්ආනයේ 36-82 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවියන්) ම මෙසේ පවසා සිටී.

“කිසියම් වස්තුවක් මවන්නට ඔහු සිතුවේ නම් “වනු” යයි අණ කිරීම පමණි. ඒ ක්ෂණයකින් එය සිදුවන්නේය.”

ඒ අනුව අල්ලාහ් (දෙවියන්) ඕනෑම වස්තුවක් ක්ෂණිකව මවන්නට වුවද බලසම්පන්න යන්න පැහැදිලිය. දැන් කිසිවකුට ප්‍රශ්නයක් මතුකල හැකි “එසේ නම් ඇයි අහස පොළොව නිර්මාණය කරන්න අල්ලාහ් (දෙවියන්) දින 06 ක් ගතවුයේ” යනුවෙන් මෙය බැලූ බැල්මට සාධාරණ ප්‍රශ්නයක් ලෙස පෙනුනද එය එසේ නොවේ. උදාහරණයක් ලෙස කිසියම් වැඩ කොටසක් ඉටුකිරීමට කෙනෙකු හට දිනක් ගතවේ යයි සිතමු. ඔහු එම වැඩ කොටස දින 05 කින් ඉටුකරයි. දැන් “ඔහුට එම වැඩ කොටස දිනකින් ඉටුකිරීමට නොහැක” යයි නිගමනය කල නොහැක. කලයුතු වන්නේ ඇයි ඔහු දින 05 ක් ලබාගත්තේ යන්න පිලිබදව අධ්‍යනය කිරීමයි. ඒ ආකාරයටම මේ අහස පොළොව නිර්මාණය කිරීමට අල්ලාහ් (දෙවියන්) හට දින 06 ක් ගතවුයේ ඇයිද? යන්න වෙනම සාකච්චා කලයුතු මාතෘකාවකි. දැන් නැවතත් මාතෘකාව වන දින 06 කින් මේ සියල්ල නිර්මාණය කලේ කෙසේද? දින ගනනය කලේ කෙසේද? යන කාරණය වෙත අවධානය යොමු කලේ නම්,

මේ ප්‍රශ්න දෙකටම ඇත්තේ එකම පිළිතුරයි. එනම් දිනකට පැය 24 යන්න සූර්යයාට සාපේක්ෂව පෘථිවියේ ගමන් මඟ අනුව නිර්ණය කරන කාරණයකි. මෙම දින යන්න සූර්යග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහයෙක් සැලකූවිට එය පැය 24 නොවේ. නිදසුනක් ලෙස බ්‍රහස්පති (Jupiter) ග්‍රහයා සැලකූවිට දිනකට ඇත්තේ පැය 10 ක් පමණි. එසේම දිනකට පැය 24 යන්න ශුද්ධ වූ කුර්ආනයේ ස්ථාවරය ද නොවේ. මන්ද එය සාපේක්ෂ කාරණයක් වන බැවිණි. මෙනිසයි ශුද්ධ වූ කුර්ආනය “දිනය” යන කාරණය විවිධ අවස්ථාවල විවිධ ආකාරයට සදහන් කරයි. නිදසුනක් ලෙස ලෝක විනාශයෙන් පසුව උදාවන විනිශ්චය දිනය පිලිබදව අල්ලාහ් (දෙවියන්) 70-4 ශුද්ධ වූ කුර්ආනයේ පවසන විට

…එම දිනය පෘථිවි දින අවුරුදු 50000 කට සමාන වේ…

යයි පවසයි. මීට අමතරව අප පැය 24 ලෙස ගනනය කරන දිනයට සාපේක්ෂව අල්ලාහ් (දෙවියන්) හමුවේ දිනය යනු කුමක්ද? යයි සොයා බැලුවේ නම් එය ද අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 22-47 වාක්‍යය මඟින් මෙසේ අවධාරනය කරයි.

“…ඇත්තෙන්ම ඔබ ගනනය කරන අවුරුදු දහස (1000) ඔබ හිමිගේ සන්නිධානයේ එක් දිනයකට සමාන වන්නේ‍ය.”

ඉහත වාක්‍යයට අනුව අල්ලාහ් (දෙවියන්) හමුවේ දිනයක් යනු පෘථිවි දින (365 x 1000) 3,65,000 යන්න වේ. ඉහත ආකාරයට විනිශ්චය දිනයේ උදාවන කාල පරාසය හා පෘථිවි දිනයට සාපේකෂව අල්ලාහ් (දෙවියන්) හමුවේ දිනයෙ හි පරාසය පවසන ආකාරයට විශ්ව නිර්මාණයේ පැවතී කාල පරාසය අල්ලාහ් (දෙවියන්) නොපවසන නිසා එය තීරණය කිරීමේ හැකියාව, ශක්තිය හා බුද්ධිය පැහැදිලිවම අපට නැත. මන්ද පෘථිවි දින හා අනිකුත් ග්‍රහලෝකවල දින අපට සූර්යයාට සාපේක්ෂව ගනනය කල හැක. නමුත් ක්ෂීරපථ, තරු, සූර්යයා, ග්‍රහලෝක, චන්ද්‍රයා සහ අනිකුත් ග්‍රහවස්තූන් නිර්මාණය කරමින් පවතින ඒ මොහොතේ කාලය නිර්ණය කරන්නට තරම් මනුෂ්‍ය බුද්ධිය ගෝචර නොවේ. විශ්වය බිහිවීමට (Big Band සිදුවීමට) පෙර පැවතී කාල චක්‍රය පිලිබදව කිසියම් අවබෝධයක් ලබාගත හැකි නම් ඒය පදනම් කරගෙන පෘථිවියට (අපට) සාපේක්ෂව කිසියම් අවබෝධයක් ලබාගත හැකිව තිබුණි. නමුත් එවැනි සාධකයන් නිර්ණය කිරීමට මනුෂ්‍යා අසමත්වීම තුල මේ සියල්ල නොවිසදුනු පැනයක්ව පවතී. මේ පිලිබදව වර්ථමාන ලොව ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයකු මෙන්ම කේම්බ්‍ර්ජ් විශ්ව විද්‍යාලයේ ගණිතය පිලිබදව මහාචාර්යවරයෙකු වන ස්ටෙෆන් හෝකින් මහතා මෙසේ පවසයි.

“මහා පිපිරුමට පෙර කිසියම් සිදුවීමක් හෝ සිදුවීම් මාලාවක් පැවතුන ද එය තහවුරු කරගැනීමේ හැකියාව හා බුද්ධිය වර්ථමාන මානවයාට නොමැත. එමනිසා එසේ කිසිවක් සිදුවී තිබුන ද එය එසේ නොවුවා යයි ප්‍රතික්ෂේප කිරීමෙහි වරදක් නැත. ඒ අනුව මහා පිපිරුමට පෙර නිර්ණය කල කාල චක්‍රයක් නොපැවතුනු අතර මහා පිපිරුම තමා කාලයේ ආරම්භය”

යනුවෙන් ඔහු පවසයි. ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ විශ්ව ආරම්භ මොහොතේ පැවතී කාල චක්‍රය පිලිබදව කිසිදු ආකාරයක නිගමනයක් හෝ නිර්ණයකිරීමක් සිදුකිරීමට තරම් වර්ථමාන මානවයා බුද්ධිමත් නොවනවා සේම විද්‍යාව ද අසමත් බවයි. ඒ අනුව ඉහතින් පවසන අහස, පොළොව හා එහි අන්තර්ගත සියල්ල මැවීමට දින 06 ක් යන්න වර්ථමාන පෘථිවි දින (පැය 24) නොවන බව පැහැදිලිවම අවබෝධ කර ගතයුතු වේ.

එසේ නම් එම දිනය නිර්ණය කලහැකි වෙනත් ක්‍රමයක් පවතිනවාද?

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/14

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම