සතුට සොයන ඔබටයි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මානවයා සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක විග්‍රහය නම් “මිනිසා සමාජශීලි සත්ත්වයෙකි” යන්නයි. ඇත්තෙන්ම ස්වභාවයෙන් සමාජශීලී වූ මේ සත්වයා ඔහුගේ ස්වභාවය නිසි ලෙස අවබෝධ කර ගැනීමට අපොහොසත් වීම තුල අද ඔහු සංකීර්ණ අර්බුද ගණනාවකට මැදි වී ජීවත් වෙති. සාමුහිකත්වය, සහජීවනය ප්‍රිය කරන මානවයා අද තම දිවිය යහපත්, සතුටුමත් එකක් කරගැනීම පිණිස ධනය පසුපස දුවමින් එය රැස්කරන්න විවිධ වූ දුෂ්කර ක්‍රියාවන් හි නිරත වී දුක්විඳිති. මෙලෙස ධනය පසුපස දුවන ඔහු අවසානයේ දුක පමණක් ඉතිරි කර ගනිති. මෙලෙස මුලාවන නූතන මානවයා අවසානයේ සතුට ලඟාකර ගැනීම පිණිස විකල්ප උපක්‍රම උපයෝගි කර ගනිති. එවැනි කිහිපයක් මෙහි පහතින් පෙලගසන්නේ නම්,

නූතන මානවයා සතුට සොයන තැන්...

  • මිල-මුදල් තුල,
  • නිල-තල, තාන්න-මාන්න තුල,
  • මත්ද්‍රව්‍ය, පත්පැන්... වැනි අවසිහියන් තුල,
  • අසම්මත කාන්තා/පිරිමි සම්බන්ධතා තුල,
  • අන්අයට හිංසා පීඩා ඇති කොට ඒ තුල,
  • යහගති පැවතුම් තුල,
  • ආගම දහම තුල,

(මෙවැනි බොහෝමයක් මෙහි පෙලගැසිය හැකි වූවත් ‘සතුට’ සොයා යන වත්මන් සමාජ තත්වය යම්තාක් දුරකට අවබෝධ කරගැනීමට ඉහත පෙලගැසිම ප්‍රමාණවත් යැයි සිතමි.)

මෙලොව මිනිස් වාසය ආරම්භය සිදු වූ මොහොත පටන් මේ දක්වාම මිනිසා සොයන මේ වටිනා ‘සතුට’ නොහොත් සන්තෝෂය, තෘප්තිය, ප්‍රීතිය,.. සමාජයේ සමහරක් පණ්ඩිතයන් පවසනවා සේ ගැඹූරු අධ්‍යනයන් තුලින් හෝ දුෂ්කර ක්‍රියාවලියකින් ලඟා කර ගතයුත්තක් හෝ අවබෝධ කර ගතයුත්තක් නොවේ. එය සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට ඉතා සරලව අවබෝධ කරගත හැකි කාරණයකි. එවන් වූ මිල කල නොහැකි වටිනා ‘සතුට’ තම ජීවිත තුල ගොඩනඟා ගැනීම පිණිස නූතන මිනිසා කායිකව හා මානසකව කරන කැප කිරීම් සුළුපටු නම් නොවේ. එසේම මෙම “සතුට” මිනිස් ජීවිතවලට දිනාදීම පිණිස ලොවපුරා පවත් වන උපදේශන හා අනිකුත් සේවාවන්ද අසීමිත වේ. නමුත් ජීවිතයේ සෑබෑම අරුථ අවබෝධ කරගෙන ඒ තුලින් තම ජීවිතයට සතුට ලඟා කරගන්නේ මේ අතුරින් කීයෙන් කීදෙනාද? යන්න අප ඉදිරියේ ඇති නොවිසඳුනු පැනයකි.

“සතුට” යන්න මිනිස් ජීවිතයේ සුන්දරත්වය කියාදෙන ජීවිතය ජීවත් කරවන සුන්දර අංගයකි. එය සාමුහිකව භුක්ති විඳිය යුතු එකක් මිස තනි තනිව හුදෙකලාව භුක්තිවිඳිය යුතු එකක් නොවේ. විශේෂයෙන් තවත් කෙනෙකුගේ සතුට උදුරාගෙන එයින් සතුටක් ලබාගෙන භුක්තිවිඳිය යුතු එකක් ද නොවේ. නිදසුනක් ලෙස තවත් කෙනෙකුට හිංසාවක්, අසාධාරණයක්, පීඩාවක්... ඇති කොට ඒ තුලින් තමන් ලබන “සතුට” සැබෑ සතුට ද නොවන අතර එම සතුට පවතින්නේ ද නැත. නමුත් අවාසනාවකට අද ලොව බොහෝ විට දක්නට ලැබෙන්නේ එවැනි කෲර අන්දමින් ලඟාකරගත් තාවකාලික සතුටු පමණි. සැබෑ සතුට එසේ නොවේ. එහි තමන් ලබන සතුට තුල තම අවට සමාජයේ ආශීර්වාදය සහ සතුට ද ගැබ්ව පවතින අතර එම සතුටයි සැබෑම සතුට වන්නේ. එවන් සතුටක් අපගේ ජීවිතවල ස්ථීරව තබා ගැනීමට නම්, අපගේ ක්‍රියාවන් සහ වචන යන සියල්ල යහපත් වියයුතු අතර අපගේ ජීවිත ලෞකික දිවියෙන් එහා ගිය දැහැමි එකක් ද වියයුතුය. ඒ අනුව මෙම “සතුට” ජීවිතයට ලඟාකර ගැනීම පිණිස වූ ඉස්ලාම් දහමේ මඟපෙන්වීම කුමක්ද? යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

මිනිස් හදවත් තුල සතුටු හැඟීම් වර්ධනය කර ගැනීමටත්, නොසතුට ගෙනදෙන හැඟීම් පාලනය කිරීමටත් ඉස්ලාම් දහම ඉතා සරලව මඟපෙන්වීම් කිහිපයක් යෝජනා කරයි. ඒසේ යෝජනා කරන මඟපෙන්වීම් අතුරින් දිව්‍ය පුස්තකය වන අල්කුර්ආනය යෝජනා කරන ප්‍රධාන කරුණු 05ක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

දේව අවනැතිය හා නැමදුම එහි ප්‍රධාන වේ.

“අල්ලාහ් (දෙවි)ට අහසේ සහ පොළොවේ අනාගතය අයත් වන අතර, සියලු කාරණා ඔහු විසින් පාලනය කරනු ලැබේ. ඔබ ඔහුට නමස්කාර කර ඔහු කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. ඔබ කරන සියල්ල ඔබේ ස්වාමියා නොදන්නවා නොවේ.”

අල්කුර්ආනය 11:123

ඉහත අල්කුර්ආන් වාක්‍යය අපට කරුණූ ගණනාවක් කියාපාන්නේය. ඒනම්,

  • අප කොතරම් සැලසුම් සහගතව සහ වෙහෙස වී කටයුතු කලත් අප ජීවිතයේ ඊලඟ මොහොත, දවස, මාසය, වර්ෂය කවර ආකාරයට තීන්දු කර තිබෙන්නේද? යන දැනුම ඇත්තේ දෙවියන් සතුව පමණක් බව අවබෝධයෙන් කටයුතු කලයුතුය. ඒවිට ජීවිතයේ ඇතිවන අහිමිවීමන් වැනි තත්වයන් හි දුක්වීම, පසුතැවීම වැනි නොසතුට ගෙනදෙන තත්වයන්ගෙන් අපව ආරක්ෂා කරනු ඇත.
  • මුළු විශ්වයම ඔහුගේ පාලනයට යටත් ව පවතින නිසා අපගේ උත්සාහයන් ට ඉහලින් ඔහුගේ ශක්තිය ඇති බව තේරුම් ගතයුතුය. ඒවැනි පසුබිමක ජීවිතයේ ඇති වන දුක්වීම, පසුතැවීම වැනි තත්වයන් අර්ථ ශුන්‍ය බව පැහැදිලි වේ.
  • නිරතුරුවම අල්ලාහ් (දෙවි)ව විශ්වාස කොට ඔහුට නැමදුම් කිරීමට කටයුතු කලයුතු බවත්, අවංකව දෙවියන් නැමදුම් කරමින් සැබෑවටම ඔහුට අවනත වීම කලයුතු බවත්, අප කරන කියන සියල්ල ඔහු දකිමින් සිටින බවත් තේරුම් ගෙන කටයුතු කලයුතුව ඇත.

මෙසේ අප කටයුතු කරන විට අපගේ ජීවිතයේ සිදුවන සියල්ල පිලිබඳව අපට සෑහීමකට පත්වීමට හැකි වන අතර ඒසේ ජීවිතයේ සෑහීමකට පත්වෙන ලෙස ජීවත් වෙනවා යන්න සතුටුමත් ජීවිතයක් ගතකරන්න මඟපාදන්නේය.

කෘතවේදී වීම සතුටට මඟ පාදයි

"ඔබ කෘතඥතාව පළ කරන්නේ නම්, මම නිසැකවම ඔබට වැඩි යමක් දෙන්නෙමි, ඔබ අකෘතඥ වන්නේ නම්, මගේ දඬුවම දරුණු වේ." 

අල්කුර්ආනය 14:7

කෘතවේදීත්වය බොහෝ විට අපගේ සාර්ථකත්වයට සහ මොලොව යහපැවැත්මක යතුරයි. එමෙන්ම කෘතවේදීව ජීවත්වීම අපව සතුටින් තබා ගැනීමටද උපකාරී වේ. අල්ලාහ් (දෙවි)ට කෘතගුණ දක්වන්නෙකු ලෙස මෙලොව ජීවත්වීම යනු ඔහු අපට ලබාදී ඇති සෑම දෙයක්ම ඔහුගේ ආශීර්වාදයක් බවත්, අප ජීවිතයේ අත්විඳින සෑම දෙයක්ම පිටුපස සිටින්නේ ඔහු බවත් තේරුම් ගැනීම වේ. ඒසේ ජීවිත් වීම තුල අපගේ ජීවිත තුල නිරන්තරයෙන් සතුට රැදේ.

කාලය ගැන කල්පනාකාරී වන්න

කාලය මත සත්තකින්ම !,  මිනිසා (තම ආයුකාලය නිෂ්පල ආකාරයට වියදම් කර) නියත වශයෙන්ම පරාජිත (මාර්ගයෙහි) සිටින්නේය. (එහෙත්) කවරෙකු, විශ්වාස කර, යහපත් ක්‍රියාවන්හි යෙදී සත්‍යය පිළිබඳ අන්‍යයොන්‍ය  උපදෙස් කරගත්, ඉවසීම පිළිබඳ අන්යොන්ය උපදෙස් කරගත් පුද්ගලයන් හැර.

අල්කුර්ආනය 103:1-3

අල්කුර්ආනය මෙහිදී අපට කාලය මත දිවුරා මතක් කර දෙන්නේ කාලයේ වැදගත්කම සහ වටිනාකමයි. මුස්ලිම්වරුන් වශයෙන් අපට හැකි උපරිමයෙන් කාලය ප්‍රයෝජනයට ගත යුතු බව මෙහි අවදාරණය කරයි. එනම් අපගේ ජීවිත කාලය යහපත් අන්දමින් හා පලදායි ආකාරයට යොදා ගනිමින් මෙලොව ජීවත් වනවිට එම ජීවිතයත් සතුටින් පිරි එකක් වන අතර පරලොව ජීවිතයත් නියතවම සතුට පිරි එකක් වනු ඇත.

කරුණාවන්ත වීම සතුට ගෙනදේ

යුක්තියත්, ත්‍යාගශීලිභාවයත්, ඥාතීන්ට කාරුණිකව සැලකීමත් නියතවශයෙන් අල්ලාහ් නියම කර ඇත්තේය. තවද අවිනීතභාවය, කෲරකම, සහ පීඩාකාරීව කටයුතු කිරීම ඔහු තහනම් කර ඇත්තේය. 

අල්කුර්ආනය 16:90

ඉහත වාක්‍යය හොදින් විමසා බලන්නේ නම්, එහි පවසන සාරංශය යහපත් සහ ගුණවත් පුරවැසියෙකු ලෙස සමාජයේ ජීවත් වියයුතු යන්නයි. අන් අය හා කාරුණිකව සහ නම්‍යශීලීව කටයුතු කරන විට එය අප තුල සතුට වඩවයි. ඉහත අල්කුර්ආන් වාක්‍යයෙන් අපට මතක් කර දෙන්නේ අපට අප ගැන සතුටක් දැනීමට නම්, අපි අන් අයට යහපත් වීමට නිරන්තරයෙන් උත්සාහ කළ යුතු බවයි. කාරුණික හා යහපත් වීමෙන්, අල්ලාහ් (දෙවි) අල් කුර්ආනයේ අපට නියම කරන නියෝග ක්‍රියාවට නැංවීමේ කුසලත් අපට බලාපොරොත්තු විය හැක.

නොමිනිසුන් හඳුනාගෙන ජීවත් වන්න

නියත වශයෙන්ම අල්ලාහ් හමුවේ නින්දිතම තිරිසනුන් (වනුයේ) අවබෝධ කරනොගන්නා බිහිරන් සහ ගොළුවන් (වැනි මිනිසුන්)ය. 

අල්කුර්ආනය 8:22

ඉහත වාක්‍යයෙන් අල්කුර්ආනය අදහස් කරන්නේ ශාරීරිකව බිහිරි හෝ ගොළු පුද්ගලයන් නොවේ. දැහැමි යහමග නින්දිත ලෙස ප්‍රතික්ෂේප කරන සත්‍ය දහම් ඉගෙන්වීමන් හමුවේ තම ඇස්, කට වසා ගන්නා කුහකයින් පිලිබදවයි. මෙවැනි පිරිසගෙන් ඈත් වී බුද්ධිමත්, ගුණවත් සහ යහපත් අය සමඟ එක්ව කටයුතු කිරීම තුල අප ජීවිතවල සතුට රුදෙනු ඇත.

ලෝව සතුටින්ම ජීවත් වන ජන සමාජයන් හොදින් විශ්ලේෂණය කර බලන්නේ නම්, ඔවුන් නිරෝගිමත්ව, වැඩි ආයුකාලයක් සහිතව ලෝකයටම ආදර්ශයක් වෙමින් ජීවත් වීමට හැකිවූයේ ඔවුන් වෙසෙන භූමියේ හාස්කමක් හෝ එම ජාතියට ආවේනික විශ්මිත බලයක් නිසා නොවේ. එහි ජනතාව තුල ගොඩනැඟී තිබෙන යහපත් ගතිපැවැතුම් නිසාය. විශේෂයෙන් අන්‍යයෝන්‍ය අවබෝධයෙන් හා බැදීමෙන් යුතුව සාමුහිකව කටයුතු කිරීම, කාලය කළමණාකරණය කරගෙන තම වගකීම් නිසිලෙස ඉටුකිරීම, කෘතවේදීව සහ දැහැමිව ජීවත්වීම ඔවුන්ගේ සාර්ථකත්වයේ සහ සතුටේ රහසයි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/06/17

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම