වසර 4200ක් වැලලී පැවතී නබි නූහ් ඉතිහාසය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අතීතයේ පටන් විවිධ කාලවල ලොව තුල විවිධ වූ විනාශකාරී සිදුවීමන් හටගෙන ඇත. ගංවතුර, සුනාමී, ගිනිකදු, ටොනාඩෝ, සුලිසුලං, ලැව්ගිනි, නායයෑම්… එවැනි කිහිපයකි. මෙවැනි විනාශකාරී සමීපතම සිදුවීමක් ලෙස 2004 සුනාමිය සදහන් කල හැක. මෙවැනි විනාශයන් ලොව උද්ගතවන සෑම අවස්ථාවකම එයට මුහුණදෙන ජනතාව ගනු ලබන පොදු වූ නිගමනයක් ඇත. ඒ “මීට පෙර මෙවන් විනාශයක් ලොව කිසිදිනක සිදුවී නැතුවා ඇති” යන්නයි. නමුත් ලෝක ඉතිහාසය බලන කල මෙවැනි හා මීටත් වඩා කුරිරු වූ විනාශයන් ලොව සිදුවු බවට ඉතිහාසය පැහැදිලි සාක්ෂී දරයි. උදාහරණයක් ලෙස තත්පර කිහිපයකින් මහා විනාශයකට ගොදුරු වූ දියුණු නගරයක්ව පැවතී “පොම්පේ” නගරයට සිදුවූ විනාශය සදහන් කල හැක.

ඉතිහාසය මේ ආකාරය වූ සිදුවීම් සදහා සාක්ෂි දරණ විට අනාගතයේ සිදුවිය හැකි දරුණු විනාශයන් පිලිබදව විද්‍යාඥයන් විවිධ වූ අනාවැකි පලකරයි. උදාහරණයක් ලෙස “killer Asteroid” පිලිබදව කරන අනාවැකිය ඉන් එකක් ලෙස සදහන් කල හැක. මෙම අනාවැකි කිසියම් ආකාරයක දත්තයන් පදනම් කරගෙන ඔවුන් පවසන නිසා එය නිකම්ම බැහැර කිරීමට නොහැක. මේ හේතුව නිසා මෙම අනාවැකි පදනම් කරගෙන විවිධ වූ කලා නිර්මාණයන් ද ලොව බිහිවිය. උදාහරණයක් ලෙස Day after tomorrow, Water World, The Asteroid, 2012… ඉන් කිහිපයකි. මෙවා තවත් කලා නිර්මාණයක් යයි සිතනවාට වඩා යමක් මේවා තුල ගැබ්ව තිබෙනවා යන්න මාගේ හැඟීමයි.

මා මෙහි දී පවසන්නට හෝ ලියන්නට හදන්නේ මනක්කල්පිත “2012” කලා නිර්මාණය පිලිබදව හෝ එවැනි කලා නිර්මාණ පිලිබදව ඇගයීමක් නොවේ. මීට වසර 4200 කට පෙර සිදුවූ සත්‍ය සිදුවීමක් හා එයට පසුබිම් වූ කාරණයන් පිලිබදව සටහනකි. මෙය ඉතිහාස නොලියවෙන විද්‍යා හා තාක්ෂණ ඥානය ශූන්‍යව පැවතී යුගයක සිදුවූ ජනතාව විශ්මයට පත්කරවන විනාශකාරී සිදුවීමක් පිලිබදවයි. එනම් මීට වසර 4200 කට පමණ පෙර ලොව ජිවත් වූ නුහ් (අලෛ)(බයිබලයේ සදහන් ආකාරයට නෝවා) නම් දේව වක්තෘවරයෙකු සමයේ සිදුවූ ගංවතුරු තත්වයක් හා ඒ හේතුවෙන් ලොව සිදුවූ විශාල විනාශයක් පිලිබදවයි. මෙම සිදුවීම පිලිබදව බයිබලයේ මෙන්ම ශුද්ධ වූ කුර්ආනයේ ද කරුණු සදහන් වන අතර දිර්ඝ විස්තරයක් ශුද්ධ වූ කුර්ආනය පවසයි. එනම් විවිධ වූ දුරාචාරවලින් පිරී අරාජිකව පැවතී ජන සමුහයක් වෙත දේව දූතයෙකු (වක්තෘවරයෙකු) ලෙස නූහ් (අලෛ) තුමා දෙවියන් විසින් තොරාපත් ‍කොට එවන ලදී. එතුමා විසින් වසර 950ක පමණ කාලයක් දිවා රෑ නොබලා එම ජන සම‍ාජයට අවවාද අනුශාසනා කරන ලදී. ඒ බව ශුද්ධ වූ කුර්ආනය 7-59 මඟින් මෙසේ පවසයි.

“සැබැවින්ම අප නූහ් ව ඔහුගේ ජනයා හමුවට (මගේ දූතයෙකු ලෙස) යැව්වෙමු.”

මෙසේ එම සමාජයට අවවාද කරනු පිණීස යවන ලද ඒ වක්තෘවරයාගේ අනුශාසනයන් ඒ ජනතාව ප්‍රතික්ෂේප කරමින් ඔවුනට හිංසා ද කරමින් පවසා සිටියේ,

“නියතව අප ඔබව පැහැදිලිවම නොම‍ඟෙහිසිටීම දකින්නෙමු.” (කුර්ආනයේ 7-60)

මේ ආකාරයට දේව අනපනත් ප්‍රතික්ෂේප කොට විෂමාචාරවල ජීවත් වූ සමාජය වෙත ගංවතුර මඟින් විනාශයක් නිර්මාණය කල බව ශුද්ධ වූ කුර්ආනයේ 7-64 වාක්‍යය මඟින් පවසයි. මෙම විනාශය දෙවියන් විසින් පහල කිරීමට පෙර එම සමාජයේ ජීවත් වූ යහපත් මිනිසුන් සදහා පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකර එසේ පහල කරන විනාශයෙන් මිදීම සදහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගය ද ඒ පිරිසට දැනුම් දී තිබුණි. ඒ අනුව ඔවුන් විසින් විශාල නැවක් නිර්මාණය කරගන්නා ලදී. ඉන් අනතුරුව එම මහා විනාශය පහල වූ අතර එය ශුද්ධ වූ කුර්ආනයේ 54-11 සිට 14 දක්වා මෙසේ විස්තර කරයි.

  • “තදින් වැටෙන ජලය මඟින් අහසෙහි දොරටු අප විවෘත කලෙමු. (තද වැස්සක් ඇති කල බව පවසයි)
  • තවද භූමිය දිය උල්පත් ගැලීමට සැලැස්වුයෙමු එහෙයින් නියම කල කාර්යය සදහා (අහස භූමිය ආදියෙහි) ජල එකතු විය.
  • අප ඔහු (ඇතුළු පිරිස) ව ලෑලි හා ඇණවලින් සැකසූ (නැවෙහි) නැංවුයෙමු.
  • එය අප ඇස් ඉදිරියෙහි (මහා ජල ගැල්මෙහි පාවෙමින්) ගියේය.”

ඉහත වාක්‍ය 04න් එම විනාශය සිදුවූ ආකාරය පැහැදිලිව විස්තර කරන අතර මීට අමතරව මෙම සිදුවීම පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ තවත් බොහෝ තැන්වල ද සදහන් වේ. මෙම සිදුවීම අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනය හරහා අපට පවසන්නේ ඇයි?. මෙයට ප්‍රධාන හේතු දෙකක් ඇත. එනම්

  • ඉතිහාස සිදුවීමක් වර්ථමාන සමාජයට අනාවරණය කිරීම පිණිස
  • මේ තුලින් වර්ථමාන සමාජය ද අවවාද කිරීම පිණිස

මෙහි දෙවන කාරණය වැදගත් වේ. මෙම ඉතිහාසගත සිදුවීම දෙවියන් විසින් වර්ථමාන සමාජයට අනාවරණය කරන්නේ ඒ තුලින් අප අවවාද ලැබීම පිණිසය. එනම් “දේව අනපනත්වලට අවනතව ජිවත් නොවීම තුල මෙවන් වූ විනාශයන් අදටත් පහල විය හැක” යන්න අවබෝධ කරදීම හා අනතුරු ඇඟවීම පිණිසය. මා මෙසේ පවසන විට මෙම කාරණය පිලිබදව නිසි අවබෝධයක් නැති, සියල්ල තාර්කිකව හා බුද්ධිමත්ව දකින්න වෙරදරන වර්ථමාන සමාජයට ගැටළුවක් මතුවිය හැක. ඒ මීට වසර 4200කට පමණ පෙර සිදුවූ සිදුවීමක් මීට වසර 1400කට පෙර (කාල පරතරය වසර 2800ක්) කාන්තාරයක ජීවත් වූ මුහම්මද් කොහොමද පවසන්නේ? යන්නයි. මෙය සැබැවින්ම බුද්ධිමත් වූ තර්කයකි. මුස්ලීම්වරුන් වශයෙන් අප ද පවසන්නේ “මුහම්මද් (සල්) තුමාණන් හට මෙය තම බුද්ධීය පදනම් කරගෙන කිසිවිටෙකත් පැවසිය නොහැක” යන්නයි. මෙය පැහැදිලිවම මනුෂ්‍ය බුද්ධිය හා ශක්තිය ඉක්ම වූ කාරණයකි. එය තමා මුස්ලීම්වරුන් වන අප විශ්වාස කරන්නේ මෙය දේව වාක්‍යයක් එනම් දෙවියන් විසින් කරන හෙලිදරව්වක් බවට. දැන් ඔබට තවත් ගැටළුවක් ඇතිවිය හැක ඒ,

“ඇත්තටම මෙහෙම යමක් ලොව සිදුවුනාද?”

මෙය ද බුද්ධිමත් තර්කයකි. මන්ද අතීතයේ කිසියම් සිදුවීමක් සිදුවූවා යයි පවසමින් එය පදනම් කරගෙන වර්ථමාන සමාජයට කිසියම් කාරණයක් දේශනා කිරීම හා අවධාරණය කිරීම සුලභ කාරණයකි. විශේෂයෙන් ලේඛනකලාව හා ඉතිහාසය වාර්තාගත කිරීම් සිදුනොවන අවධියක් පදනම් කරගෙන කිසියම් තර්කයක් ඉදිරිපත් කරන විට ඒ සදහා සාක්ෂීන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ද ඇති නොවේ. ඒ අනුව මීට වසර 4200 කට පෙර සිදුවූවා යයි පවසන මෙම සිදුවීම සදහා ද ලිඛීත සාක්ෂි ඉල්ලීම හෝ ඉදිරිපත් කිරීම කල නොහැකි කාරණයකි. ඉහතින් මා සදහන් කලා සේ අද ලොව බොහෝ කරුණු කාරණා මේ න්‍යාය පදනම් කරගෙන සමාජය පිට බලෙන් පැටවීම සමාන්‍ය කාරණයකි. ඒ නැතත් ඕනෑම කාරණයක් පිලිබදව බුද්ධිමත්ව දකිනවා වෙනුවට ඇසූ ඇසූ සියල්ල ඒලෙසින්ම පිලිගැනීම ද ශ්‍රී ලාංකීය අපට සුපුරුදු කාරණයකි. ඒ අප කුඩා කල සිට පුරුදු පුහුණු වූ ආකාරයක් ඇත. ඒ “ඔන්න බබෝ බිල්ලා” යැයි කියු පමණින් එය පිලිගෙන නාඩා සිටියා මිස “කෝ අම්මේ බිල්ලා” යයි හැඩුවේ නැත. ඒ න්‍යායේ හිද ඉස්ලාමීය ඉගෙන්වීමන් ද පිලිගතයුතු යන්න ඉස්ලාමීය ස්ථාවරය නොවේ. ඉස්ලාම් මනුෂ්‍යාගේ බුද්ධීයට කථා කරන ඒ සදහා පොළොඹවන දහමකි. ඒ අනුව ඉහත සිදුවීම වෙත බුද්ධිමත් ලෙස දැන් අවධානය යොමු කරමු.

ඉහත සිදුවීම සවිස්තරව පවසන ශුද්ධ වූ කුර්ආනය 54-15 හා 29-15 මඟින් මෙලෙස ද පවසයි. එනම්,

  • “අප මෙය සාක්ෂීයක් ලෙස තැබුවෙමි. අවවාද ලබන්නෙකු ඇත්තේද?” (54-15)
  • “අප ඔහුවද ඔහුගේ නැව් සහයකයන්වද බේරා ගනිමින් මෙම සිදුවීම ලෝකවාසීන්ට සාක්ෂියක් කලෙමු.” (29-15)

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය දෙකෙන් පවසන පොදු වූ කරුණු දෙකක් ඇත. එනම්,

  • අවවාදයක්
  • සාක්ෂියක්

ඒ අනුව මා ඉහතින් සදහන් කලාසේ දෙවියන් මෙම සිදුවීම අපට පවසන්නේ අවවාද ලැබීම පිණිස යන්න පැහැදිලිය. එසේ අවවාද ලැබීම පිණිස කරුණු ඉදිරිපත් කරන ශුද්ධ වූ කුර්ආනය ඒ සදහා මතු පරම්පරාවට සාක්ෂීන්ද ඉතිරි කොට ඇති බව අවධාරණය කරයි. එසේ නම් එම සාක්ෂීන් මොනවාද?,

එම සාක්ෂීන් මොනවාද?

එම සාක්ෂීන් කුමක්ද? යන්න පිලිබදව ඉඟියක් ලබාගැනීම පිණීස ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් වෙත ඔබගේ අවධානය යොමු කිරීමට අදසහස් කරමි. එනම් ශුද්ධ වූ කුර්ආනයේ 11-44 හි අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි.

“පෘථිවිය!, නුඹ නුඹේ ජලය (නැවත උරාගන්න) ගිලගන්න! අහස!, නුඹ නුඹේ වැස්ස නවතාගන්න! යයි (දේව නියෝගය ලැබුණී) ගංවතුර පහව ගියේය. කාර්යයන් අවසන් විය. ඒ නැව ජුදි කන්ද මත රුදුණි.”

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව මෙම සිදුවීම “ජුදී” නම් කන්දක් හා සම්බන්ධ වන බව තහවුරු වේ. ඒ අනුව ගවේෂණය ඇරඹු පරියේෂණ කණ්ඩායමකට ශුද්ධ වූ කුර්ආනය පවසන මෙම නැව නතර වූ තැන සොයා ගැනීමට හැකි විය. එය වර්ථමාන තුර්කි රට මායිමෙහි පිහිටි “ආර්මේනියා” නම් කන්දක් විය. මෙම නැව රැදී තිබුනේ මුහුදු මට්ටමේ සිට අඩි 16000 ක් ඉහලිනි. එහි විශාලත්වය දිග අඩි 520ක් හා පළල අඩි 180ක් පමණ විය. මෙපමණ විශාල නැවක් මෙපමණ උස කන්දක් උඩ රැදෙන්නේ නම් එම ගංවතුරෙහි ප්‍රමාණය දළ වශයෙන් අවබෝධ කර ගැනීමට අපහසු නොවේ. එම භූමිය විවිධ කෝනවලින් ගවේශනය කල පරියේෂක කණ්ඩායමට එම නැවෙහි නටඹුන් පවා සොයා ගැනීමට හැකි විය. (එම නටඹුන් අදටත් කෞතුකාගාරයේ ආරක්ෂිතව තබා ඇත. මෙම නැව පිහිටි භූමිය පිලිබදව වීඩියෝ දර්ශන පහතින් දැක්වේ.) මෙහි පරියේෂණ කණ්ඩායම පවා මවිතයට පත්කල කාරණය වන්නේ “මෙපමණ උස කන්දක් මතට ‍ෙම් විශාල නැව ගියේ කොහොමද?” යන්නයි. එම ප්‍රශ්නයට පැහැදිලි පිලිතුර අප ඉහතින් සදහන් අල්කුර්ආන් වාක්‍ය මඟින් අවබෝධ කරගත්තෙමු.

  •  අවසාන වශයෙන් ඔබගේ බුද්ධියට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කිරීමට සිතේ. එනම්,
  •  තාක්ෂණ දියුණුවත් සමඟ මෑතක සොයාගත් මෙම සත්‍යය මීට වසර 1400 කට පමණ පෙර මුහම්මද් (සල්) තුමාණන් මඟින් ලොවට ප්‍රකාශ වුයේ කෙසේද?
  •  වසර 4200 ක් ගතවී තිබුනද කිසිදු හානියක් නොවී සාක්ෂී පැවතුනේ ඇයි?
  •  පර්යේෂණ කණ්ඩායම විමසනවා සේ මේ නැව එතරම් උස් ස්ථානයක රැදුනේ කොහොමද?
  •  මේ පිලිබදව ශුද්ධ වූ කුර්ආනය පවසන කරුණු සත්‍ය වෙනවා නොවේද?

එසේ නම් මීට වසර 4200 කට පෙර ජන සමාජයක් අල්ලාහ් (දෙවියන්) විසින් විනාශ කලා යන්න සත්‍යයක් නොවේද? මේ ප්‍රශ්න සදහා පටු හැඟීමන් තුල කොටු නොවී බුද්ධිමත්ව පිලිතුරු සෙවීම තුල මෙම කුර්ආනය පැහැදිලිවම දේව වාක්‍යයන් යන්න මනාව අවබෝධ වනු නොඅනුමානය

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/15

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම